May 12, 2024

පොල්තෙල්වල පිළිකා කාරකය වියළි මිරිස්වලත් තිබිලා - ක්‍රමවේදය ප්‍රශ්නයක්

ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් වල සාම්පල යලිත් පරික්ෂා කිරීම මේ වන විට ආයතන කිහිපයක් මගින් සිදු කෙරේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය විසිනි.

මෙලෙස සාම්පල යලි පරික්ෂා කිරීමක් සිදු වන්නේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරිස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්, කටාන රිෆයිනරිස් යන ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමිනි.

කෙසේවෙතත් මින් එක් සමාගමක සාම්පල දෙවන වර පරික්ෂාවේදීත් ඇෆලටොක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සඳහන් කරයි.

නමුත් එම සමාගම කුමක් දැයි ඊයේ අනාවරණය කෙරුණේ නැත.

එම තෙල් තොග වෙළඳ පොළට නිකුත් වී ඇති බවට පාර්ශව කිහිපයක් විසින් සිදු කල ප්‍රකාශ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය වරයා ප්‍රතිචාර දැක්විය.

"විපක්ෂනායකතුමා මේ රට පුරාම අවුරුද්දට වස විස සහිත පොල්තෙල් නිකුත් කරනවා කියලා. මේ පොල්තෙල් බෙදා හරින්නේ රජයෙන් නෙවෙයි. එවැනි පිළිකා කාරක අඩංගුයි කියන තෙල් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ගිහිල්ලා වරාය ඇතුලේ තියෙන ගුදම් සීල් කරලා තියෙනවා. එසේ කරගෙන තියෙද්දී හෝමාගම හරි මහරගම හරි අම්පාරේ හරි ආනමඩුවේ හරි මෙහෙම එතුමාට තොරතුරක් ලැබිලා තියෙනවා නම් අඩුගානේ ඒ තොරතුර අපිට කියනවා නම් අපිට ගිහිල්ලා ඒ සඳහා මැදිහත් වෙන්න පුළුවන්."

ආනයනික පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වය ඇති වූ පළමු අවස්ථාව මෙය නොවන අතර කිරිපිටි හා වියලි මිරිස් සම්බන්ධයෙන් ද මෙවැනිම සිදුවීම් මීට පෙරද වාර්තා විය.

2019 වසරේ සැප්තැම්බර් මසදී සමාගම් 7ක් විසින් මෙරටට ආනයනය කල ඇෆලටොක්සීන් අඩංගු වියලි මිරිස් මෙට්‍රික් ටොන් 200කට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිදහස් වීම දැඩි කතාබහට ලක් විය. 

රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර ඒවා මුදා හැරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර නඩු කටයුත්තක් ආරම්භ කිරීමටත් සිදු විය.

ආහාර ද්‍රවය සහිත බහාලුම් ආනයනය කිරීමෙන් පසු ඒවායේ තත්ව වාර්තා ලැබීම ප්‍රමාද වීම හා එතෙක් සමාගම් වල ගබඩා වෙත බහාලුම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් රජය යලි සලකා බැලීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණකි. 

ඒ අනුව රාසායනාගාරවලින් ශරීරයට අහිතකර බවට තහවුරුකර තිබියදීත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත්වීමට හේතුව බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

"ජනතා සෞඛ්‍යට වඩා ව්‍යාපාරික අවශ්‍යතාවයන් සැපිරෙනව ද කියලා කරුණක් අපිට මතු වෙනවා. මීට කලින් මිරිස් ගෙන්වීමේදීත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒවා යටගිය කාරණා බවට පත්වුණා. දැන් පොල්තෙල් සම්බන්ධයෙනුත් ඇතිවෙලා තියෙන තත්ත්වය හමුවේ, මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා."

Rate this item
(0 votes)
Last modified on Monday, 29 March 2021 09:40

Related items