May 11, 2024

පිළිකා කාරක පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබේ

පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබේ.

අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් එම ආයතන 3ට මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.

ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කර තිබියදී එය අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පසුගියදා චෝදනා කළේය.

කෙසේ වෙතත්, අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එහෙත් වෙළදපොළට පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු පොල්තෙල් නිකුත් වී ඇති බවට එල්ල වන චෝදනා හමුවේ එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දිවයින පුරා වෙළදසැල්වල පොල්තෙල් සාම්පල ලබා ගැනීම ඊයේ (26) සිට ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 March 2021 21:58

Related items