May 10, 2024

සීනි බදු වංචාවට හවුල් ලොක්කා විෂ පොල්තෙල් වංචාවටත් හවුල්

පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරාගේ නියෝගය මත බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා අනාවරණය කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සීනි බදු වංචාවේද හවුල් කරුවෙකු බවට චෝදනා එල්ල වී තිබේ. සීනි බදු වංචාව වන සමයේ නුෂාඩ් පෙරේරා මහතා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සීනි බදු වංචාවේ ව්‍යාපාරික සජාත් මවුසූන්ගෙන් වැඩි මිලට සීනි ලබාගෙන සතොසටද පාඩුවන අයුරින් ලබාගත් මිලටත් වඩා අඩුවෙන් සීනි අලෙවි කිරීමේ වංචාසහත කූඨ ගනුදෙනුව සිදු කළේ නුෂාඩ් පෙරේරා මහතා විසිනි.

ඉන් පසු ඔහු සතොසෙන් ඉවත් කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට රජය කටයුතු කළේය.

ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනා ගෙන තිබූ සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සිදු කළ පරීක්ෂාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බව නුෂාඩ් පෙරේරා මහතා සහතිකයක් ලබාදී ඇත.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සඳහන් කරන්නේ සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ අසූතුන්දහස් පනස් පහක් (183,055Kg) ආනයනය කර ඇති බවය.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකරුවන් චෝදනා කරන්නේ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොරව සිදුව ඇති බවය.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්විය.

"23 වැනිදා රෑ පිරිපහදු කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000කට වැඩි ප්‍රමාණයකින් යුතු තෙල් තොගයක් ලංකාවේ වරායෙන් නිෂ්කාශනය කළා. මෙය ආනයනය කරන ලද්දේද මේ ලංකාවට මෑත අතීතයේ දී සිනි බදු වංචා, ලාහ ප්‍රයෝජන ගත්ත යම් ආයතනයක්. එතුමාලා තමයි දැනට ලංකාවේ සීයයට 60කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙම තෙල් ආනයනය කරන්නේ. මෙතුමාලගේ ආනයනය මොන ආනයනයක් මොන අන්දමින් මොන ආයතනයෙන් පරික්ෂා කරලා මොන අන්දමින් එළියට ගියාද කියලා අපි තවමත් දන්නේ නැහැ. මේ වගේ විනිවිදභාවය සම්බන්ධ ගැටළු අපිට තියෙනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 26 March 2021 12:57

Related items