May 10, 2024

පිළිකා කාරක පොල්තෙල් නිදහස් කිරීමෙන් පසු වංචාවක්

මහජන යුතුකම් කේන්ද්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේ පෞද්ගලික සමාගම්වල ගුදම් වෙත තෙල් බහාලුම් නිදහස් කිරීමෙන් පසු යම් වංචාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කරන ලෙස ඉල්ලමිණි.

මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජම්බුරේවෙල චන්ද්‍රරතන හිමි මෙසේ අදහස් දැක්විය.

"රේගු අධ්‍යක්ෂකතුමා කියනවා වරායට ගෙනාපු මේ පොල්තෙල් රේගුවේ ගුදම් වල තියා ගන්නේ නැහැ ඒ සමාගම් වල ගුදම් වලට නිදහස් කරනවා එතන තියාගෙන තමයි අපි ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ කියලා. එතකොට අපිට තියෙන ගැටලුව තමයි ඒ අයට ඒ පොල්තෙල් මාරු කරලා ඒ අයට හොරකමක් වංචාවක් කරන්න පුළුවන්කමක් නැද්ද කියන ප්‍රශනය අපිට තියෙනවා. ඒ පිළිබඳවත් වහාම පරීක්ෂණයක් සිදු කල යුතුයි."

පොල්තෙල් සහ වෙනත් ආදේශක තෙල් මෙරටට ආනයනය කිරීමේදී පෞද්ගලික සමාගම් ගෙන්වනු ලබන්නේ පිරිපහදු නොකළ තෙල් තොගයි. 

ඒවායේ තත්ත්ව පරික්ෂාව සිදු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසිනි. 

පෞද්ගලික සමාගම් දෙකක් ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් බහාලුම් 13ක "ඇෆලටොක්සින්" නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට හඳුනාගනු ලබන්නේ මෙම අවස්ථාවේදීය.

එහිදී ආහාර ආරක්ෂණ ඒකකය මෙන්ම ප්‍රමිති ආයතනය ද මෙම තොල් තොග තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් බවට වාර්තා ලබාදීම විශේෂත්වයකි.

ඒ අනුව එම තෙල් තොග වහාම ප්‍රතිඅපනයනය කරන ලෙසට ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දී තිබියදී එම තෙල් පිරිපහදු කිරීමෙන් පසු තත්ත්ව වාර්තාවක් ලබාගැනීමට ප්‍රමිති ආයතනය අවසර ලබා දෙයි. 

තත්ත්ව වාර්තා නිල වශයෙන් ලැබෙන තුරු රේගුව විසින් වරාය පරිශ්‍රයෙන් පිටත පිහිටි පෞද්ගලික සමාගම්වලට අයත් ගබඩාවලට එම බහාලුම් නිදහස් කර තිබුණේ ඒ අනුවය.

පිරිපහදු කිරීමෙන් පසු සිදුකළ තත්ත්ව පරීක්ෂාවේදී එම තෙල් තොගවල ඇෆලටොක්සින් අඩංගු නොමැති බැවින් තත්ත්ව පරික්ෂාවෙන් සමත් බවට ප්‍රමිති ආයතනය ඉන් පසු දැනුම් දී තිබුණි.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකරුවන් චෝදනා කරන්නේ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොරව සිදුව ඇති බවය.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්විය.

"මේ ආනයනය කරන තෙල් වල තත්ත්ව පරීක්ෂණය නිසි ආකාරයෙන් කරන්න පොල් සංවර්ධන අධිකාරියට හැකියාවක් තියෙනවා. අපිට විශ්මිත කාරණාවක් තමයි මෙවැනි අධිකාරියක් ලංකාවේ තියෙද්දී එතුමාලට නොදන්වා වෙන වෙන ආයතන වලින් මේවා ආනයනය කිරීම. 23 වැනිදා රෑ පිරිපහදු කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000කට වැඩි ප්‍රමාණයකින් යුතු තෙල් තොගයක් ලංකාවේ වරායෙන් නිෂ්කාශනය කළා. මෙය ආනයනය කරන ලද්දේද මේ ලංකාවට මෑත අතීතයේ දී සිනි බදු වංචා, ලාහ ප්‍රයෝජන ගත්ත යම් ආයතනයක්. එතුමාලා තමයි දැනට ලංකාවේ සීයයට 60කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙම තෙල් ආනයනය කරන්නේ. මෙතුමාලගේ ආනයනය මොන ආනයනයක් මොන අන්දමින් මොන ආයතනයෙන් පරික්ෂා කරලා මොන අන්දමින් එළියට ගියාද කියලා අපි තවමත් දන්නේ නැහැ. මේ වගේ විනිවිදභාවය සම්බන්ධ ගැටළු අපිට තියෙනවා."

Rate this item
(2 votes)

Related items