May 10, 2024

පිළිකා කාරක පොල්තෙල් ගැන ඇමැති බන්දුල කතා කරයි

පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණි.

මේ අතර වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට ඇතුළු වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට තමා උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අහිතකර පොල්තෙල් මෙරට වෙළෙඳපොළේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයකු මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි කී ගුණවර්ධන මහතා එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතත්, මෙ තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව ද ප්‍රකාශ කළේය.

අහිතකර පොල්තෙල් පිළිබඳ කාරණය එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිදරව්කර ඇති හෙයින් එ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත් වූ පිරිස සොයාගෙන ඒ අයගෙන් තොරතුරු ලබාගෙන අහිතකර පොල්තෙල් තිබේ නම් එහි සුලමුල සොයා ගැනීමට කටයුතු කරන ලෙසට තමා නිලධාරීන්ට උපදෙස් දුන් බවත්  මේ පොල්තෙල් රට තුළට ගෙන ඒම නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබියදී ඒවා රට තුළට ගෙන ආවා නම් එහි වරද පැටවෙන්නේ රේගුවට බවත් ගුණවර්ධන මහතා පැවැසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

Rate this item
(2 votes)

Related items