May 04, 2024

කොටුගොඩ ධම්මාවාස මහනාහිමිගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන් ගන්නා මාර්ගය

පසුගිය 22 වනදා අලුයම 3.00ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය අද (25) කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මවාස හිමිපාණන්ගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් අද (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

උන්වහන්සේ විසින් සිදුකළ ජාතික, ආගමික හා ශාසනික සේවය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1.00ට ගල්කිස්ස ධර්මපාල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරස්‍රයට ළඟා වීමට නියමිතය.

රිය පෙරහැර ගමන් ගන්නා මාර්ගය පහතින් දැක්වේ.

ගල්කිස්ස ශ්‍රී ධර්මපාල මාවතේ පිහිටි ධර්මපාල විහාරස්ථානයේ සිට ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස වමට හැරී, ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත පසුකර ගාලු පාර බම්බලපිටිය වජිර පාර හංදියෙන් දකුණට හැරී වජිර පාරෙන් හැව්ලොක් පාරට පිවිස වමට හැරී, හැව්ලොක් පාර ඔස්සේ තුන්මුල්ල හංදිය, තර්ස්ටන් පාර, කේම්බ්‍රිජ් පෙදෙස, ජාතික කෞතුකාගාර හංදියෙන් දකුණට හැරී ඇල්බට් ක්‍රසන්ට් මාවතේ ගමන්කර නන්දා මෝටර්ස් හංදියෙන් දකුණට හැරී නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චත්‍රරශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.

ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන්ගන්නා කාල සීමාව තුළ, මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා ඉහත මාර්ග භාවිත කරන්නන් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණි.

1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් වී තිබේ. 

Rate this item
(0 votes)