May 19, 2024

භාග්‍යාගේ ඉල්ලීම ඵලදරයි - සිංහරාජය අවට සියලු ඉඩම් පවරා ගැනීම තීන්දුයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ‍ සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තහවුරු කරමින් වනාන්තරය අවට ඇති ඉඩම් හෙක්ටෙයාර් 400ක් කඩිනමින් පවරා ගැනීමට තීන්දු කළ බවයි.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බවද ඒ මහතා සිය ප්‍රකාශ තුළ සඳහන් කළේය.

මීට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් පවසා සිටියේ 2004 වසරේ සිට මෙම ඉඩම් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් ඉදිරිපත්ව තිබුණත් පහළ මට්ටමේ සිටින නිලධාරීන් නිසා එම සීමා නිර්ණය ක්‍රියාවලිය මන්දගාමීව තිබූ බවයි.

එමෙන්ම දැන් එම ක්‍රියාවලිය වේගවත් කර ඇති බවත් වහාම එය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කර තිබුණි.

පසුගිය සඳුදා (15) දිනයේ  පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ එම තරුණිය කරන ලද ප්‍රකාශයන් සියල්ලම අසත්‍ය බවයි. 

ඉතිහාසය තුළ බොහෝ අවස්ථාවලදී එම ඉඩම් සිංහරාජ වනාන්තරයට පවරා ගන්නා මෙන් යෝජනා ඉදිරිපත්ව තිබූ බවද ඔහු පෙන්වා දෙයි. නමුත් එම ඉඩම් එකතු කිරීමක් කර නොමැති බවද සභාපතිවරයා එහිදී පවසා සිටියේය.

 එම ඉඩම් සිංහරාජයට එකතු නොකරන තාක් එම ඉඩම් රක්ෂිතයට අයිති නොවන බවද ඔහු එහිදී සඳහන් කළේය. එසේ එකතු කළහොත් එම ඉඩම් රජයට අවශ්‍ය පරිදි කළමණාකරණය කරගත හැකි බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

තරුණිය විසින් පෙන්වා දෙන ප්‍රදේශය පෞද්ගලික ඉඩම් සහිත ප්‍රදේශයක් බවත් එම ඉඩම් තුළ පවුල් 150ක් පමණ සිටින බවද පෙන්වා දුන් සභාපතිවරයා සඳහන් කර සිටියේ මෙම ඉඩම ඇත්තේ රක්ෂිත වනාන්තර දෙකකට මැදිව බවයි. 

එම මැදිව ඇති ඉඩම් සහිත තීරුව රක්ෂිතයක් ලෙස නම් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. එය රජයේ ප්‍රතිපත්තියක් අනුව රජයේ අනුග්‍රහයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, වනජීවි අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව එක්ව මෙම මැදිව ඇති කොටස දෙපස ඇති වනාන්තර භූමියට සම්බන්ධ කොට එක් රක්ෂිත කලාපයක් බවට පත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොකර මධ්‍යම පරිසර අධිකාරියටවත්, අධිකරණයටවත් පෞද්ගලික ඉඩමක ඇති අයිතියට බලපෑම් කළ නොහැකි බවද සභාපතිවරයා පවසා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 March 2021 12:04

Related items