April 25, 2024

සිංහරාජයේ ආරක්ෂාව රජයේ වගකීමක් - වැව් ඉදි කිරීම යෝජනාවක් පමණයි - ඇමැති චමල්ගෙන් නිවේදනයක්

සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම, ව්‍යාපෘතියක යෝජනාවක් පමණක් වන බව සදහන් කරමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

202-03-21 දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ උත්සව සභාවක් අමතමින් නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශ්වයන් තුළ නිර්මාණය වී ඇති සංවාදය පිළිබඳව කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

සිය නිවේදනය හරහා අදාල ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ කරුණු ඉදිරිපත් කිරීමක් කර ඇති අමාත්‍යවරයා ලෝකයේ දුර්ලභ වැසි වනාන්තරයක් හා ජෛව ගෝල රක්ෂිතයක් වන හෙක්ටයාර 11187 කින් සමන්විත සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ අමාත්‍යාංශයට පැහැදිලි අවබෝධයක් තිබෙන බවද අවධාරණය කර තිබේ.

ඒ අනුව දේශීය පාරිසරික සංවිධාන හා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) නිර්දේශ හා නියමයන්ට පරිබාහිරව ක්‍රියා නොකරන බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

අදාල ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ගිංගගේ දකුණු ඉවුරු සීමාවේ යෝජනා වී ඇති මාදුගැටේ ගම්මානය සිංහරාජ රක්ෂිත සීමාවේ පවතින බැවින් මේ සම්බන්ධව දේශීය මට්ටමේ පරිසර ආයතන මෙන්ම ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම් පරිදි සිංහරාජය ලෝක උරුමයක් බවට ප්‍රකාශ කර ඇති UNESCO නිර්දේශ හා නියාමනයන් විමසන ලෙසට තමන් අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සිය නිවේදනය සඳහන් කොට තිබේ.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්තර සුරැකීමත් පිළිබඳව වගකීමෙන් ක්‍රියා කරන බවත් , තෙත් බිම් වනාන්තර පිළිබඳව UNESCO සංවිධානයේ මෙන්ම ගෝලිය පරිසර සංවිධාන සමග වත්මන් රජය ඇතිකරගෙන තිබෙන එකඟතාවයන්ට ගරු කර ජාත්‍යන්තර පරිසර සම්මුතීන් පිළිගනිමින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා රජය තවදුරටත් කැප වන බව ද අමාත්‍යවරයා සිය නිවේදනය සඳහන් කොට තිබේ.

පරිසර සම්මුතීන් හා තෙත් බිම් ප්‍රඥප්ති සුරකිමින් සිංහරාජ වැසි වනාන්තරය ආරක්ෂා කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ රජයට බව සිය නිවේදනයෙන් පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ වගකීම ඉටු කිරීමේදී පරිසරවේදීන් මෙන්ම පරිසර මාධ්‍යවේදීන්ගේ කැපවීම,අදහස් හා යෝජනා ස්තුති පූර්වකව ලබා ගැනීමට බැඳී සිටින බවද අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 14:03

Related items