May 19, 2024

තරුණිය කළ වැඩෙන් ගමට ඉඩම් නැතිවෙයි - කැබිනට් තීරණයක් අත ළඟ

සිංහරාජ රක්ෂිතයේ වන විනාශයක් සිදුවනවා යැයි තරුණියක් විසින් අනාවරණය කළ භූමිය රජයට පවරා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් මේ වන විටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිරි මහතා ප්‍රකාශ කරයි.

මෙම කැබිනට් පත්‍රිකාව නිකුත් කර ඇත්තේ 2004 වසරේ දී වන බවත් එම භූමියේ සීමා ලකුණු කිරීම මේ වන විට ප්‍රදේශීය නිලධාරීන්ගේ මට්ටමින් ඇන හිට ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. 

එම ඉඩම් පවරා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හට බලයක් නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම ඉඩම පවරා ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡාවලට මධ්‍යම අධිකාරිය සහභාගී වූ බවයි. එමෙන්ම ඉඩම් පවරා ගැනීම සඳහා වූ සාකච්ඡාව මේ වන විට අවසන් වටයේ ඇති බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

එමෙන්ම මෙම සිදුවන වන විනාශයට රටේ රාජ්‍ය ආයතනයන් ඇතුළු පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාරිකයන් මෙන්ම සමස්තය ලෙස මුළු රටම වගකිව යුතු බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

2004 වසරේ සිට මේ දක්වා මෙම කැබිනට් තීරණය ප්‍රමාද වුවත් දැන් එම ක්‍රියාවලිය වේගවත් ඇති බවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන අතර එය ක්‍රියාත්මක වුවහොත් එම ස්ථානයේ සිටින සියලු දෙනාටම තමන්ගේ දේවල් හකුලා ගැනීමට සිදුවනු ඇති බවද අවධාරණය කළේය.

ඊයේ (15) දිනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ එම තරුණිය කරන ලද ප්‍රකාශයන් සියල්ලම අසත්‍ය බවයි. 

ඉතිහාසය තුළ බොහෝ අවස්ථාවලදී එම ඉඩම් සිංහරාජ වනාන්තරයට පවරා ගන්නා මෙන් යෝජනා ඉදිරිපත්ව තිබූ බවද ඔහු පෙන්වා දෙයි. නමුත් එම ඉඩම් එකතු කිරීමක් කර නොමැති බවද සභාපතිවරයා එහිදී පවසා සිටියේය.

එම ඉඩම් සිංහරාජයට එකතු නොකරන තාක් එම ඉඩම් රක්ෂිතයට අයිති නොවන බවද ඔහු එහිදී සඳහන් කළේය. එසේ එකතු කළහොත් එම ඉඩම් රජයට අවශ්‍ය පරිදි කළමණාකරණය කරගත හැකි බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

තරුණිය විසින් පෙන්වා දෙන ප්‍රදේශය පෞද්ගලික ඉඩම් සහිත ප්‍රදේශයක් බවත් එම ඉඩම් තුළ පවුල් 150ක් පමණ සිටින බවද පෙන්වා දුන් සභාපතිවරයා සඳහන් කර සිටියේ මෙම ඉඩම ඇත්තේ රක්ෂිත වනාන්තර දෙකකට මැදිව බවයි. 

එම මැදිව ඇති ඉඩම් සහිත තීරුව රක්ෂිතයක් ලෙස නම් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. එය රජයේ ප්‍රතිපත්තියක් අනුව රජයේ අනුග්‍රහයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, වනජීවි අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව එක්ව මෙම මැදිව ඇති කොටස දෙපස ඇති වනාන්තර භූමියට සම්බන්ධ කොට එක් රක්ෂිත කලාපයක් බවට පත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොකර මධ්‍යම පරිසර අධිකාරියටවත්, අධිකරණයටවත් පෞද්ගලික ඉඩමක ඇති අයිතියට බලපෑම් කළ නොහැකි බවද සභාපතිවරයා පවසා සිටියේය.

Rate this item
(1 Vote)

Related items