May 19, 2024

“ෆේස්බුක්වල පළවෙන කතා අසත්‍යයි - මම කිව්වේ මම දැකපු දේ” - සිංහරාජ විනාශය හෙළි කළ තරුණිය සිය හඬ අවදි කරයි

රූපවාහිනී නාලිකාවක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට එක්ව තරුණියක් විසින් පවසන ලද සිංහරාජ වන විනාශයේ සිදුවීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය මෙන්ම සමාජය තුළත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

භාග්‍යා අබේරත්න නම් මෙම තරුණියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද මේ වන විට ක්‍රියාත්මක වන අතර ඊයේ (14) දිනයේ දී ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.

මෙහිදී තරුණිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණි.

“ඊයේ දිනයේදී මගේ ගෙදරට හවස 4.30 - 5.00 අතර කාල පරාසය තුළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එනවා.. ඒ මහත්තරුන් දෙදෙනා මගෙන් අහනවා මේක රජයේ හෝ පෞද්ගලික ඉඩමක් කියලා ඔයා දන්නවාද කියලා.. ඇත්තටම මම රජයේ ඉඩමක්ද, පෞද්ගලික ඉඩමක්ද යන්න පිළිබඳව එහෙම කිසිදු විදිහකින්, නීතියානුකූල විදිහකින් ඒ පිළිබඳව මම දැනුවත් නැහැ…” යනුවෙන් ඇය එහිදී අදහස් පළ කර තිබුණි.

එමෙන්ම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ඇයගෙන් එම ඉඩමේ අයිතිකරුවන් පිළිබඳව හෝ ඒ ආශ්‍රිතව වෙනත් තොරතුරක් දන්නවා දැයි විමසා තිබේ.

එම ප්‍රශ්නයට ඇයගේ පිළිතුර වී තිබුණේ මෙවන් අදහසකි.

 “මම එතන කියනවා මේ විදිහට හෝටලයක් හදන්න ගස් කපලා විශේෂයෙන්ම අපේ සිංහරාජය ආශ්‍රිතව ජීවත් වන ඒ දැවැන්තයන් දෙදෙනා සංක්‍රමණය වන ඒ සංක්‍රමණික කලාපය හරහා ඒ පාරිසරික පද්ධතිය විනාශ කරමින් ඉදිවෙන මේ හෝටලය පිළිබඳව මම එතනදී ප්‍රකාශ කරනවා..” යැයි ඇය සඳහන් කර තිබුණු අතර එය රජයේ ද, පෞද්ගලිකද යන්න පිළිබඳව කිසිදු විදිහකින් තමන් දැනුවත් නොමැති බවද ඇය සඳහන් කර සිටියාය.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ “නමුත් ඉතාමත් මෑත කාලයේදී එතන ඒ හෝටල් සංකීර්ණය ඉදි කරන්න පටන් ගත්තේ..හෝටලය නෙමෙයි කියලත් කියනවා..සාමාන්‍ය විදිහට ජීවත් වන මිනිස්සුන්ට ගෙවල් දෙක තුනක් හදනවා කියලා දැන් ප්‍රචාරය වෙනවා.. ඉතින් ඒ කොහොම වුණත්, එතන අලි සංක්‍රමණික කලාපයක් කියලා නාම පුවරුවක් පවා ප්‍රදර්ශනය වෙලා තියෙනවා..ඉතින් එතන ඉදිරියේ තමයි මේ පාරිසරික විනාශය සිද්ධ කරලා තියෙන්නේ..” යනුවෙනි.

කෙසේ වුවත් කිසිදු ආකාරයකින් දේශපාලන පක්ෂයක හෝ කිසිදු ආකාරයකින් තමන්ට අනුබල දීමකින් හෝ මේ සිද්ධ නොවුණු බවද ඇය සඳහන් කළාය.

 තමන් උදේ හවස දකින දේ තමන්ගේ ඇස් පනාපිට සිද්ධ වන දේ සහ එම ප්‍රදේශයේ ජීවත්වන අලි දෙදෙනා ඇතුළු අනිකුත් සතුන් වෙනුවෙන් තමන් එදා තමන් එම වැඩසටහනේ දී කතා කළ බවද ඇය පවසා සිටියාය.

“ඉතාමත් මිල කළ නොහැකි ශාක ඒ විදිහට, ඉතාමත් සාහසික විදිහට කපා දාලා ඒක ආශ්‍රිතව ජීවත් වන අහිංසක සතුන්, සතුන්ගේ නිවහන නැති කරලා මේ කරපු දේ වෙනුවෙන් හඬක් මං නැගුවේ.. ඒ වගේම තමයි මේ වෙද්දී අපේ ගමේ අයගෙන්, අපේ පවුල පිළිබඳව මගේ තාත්තා කරන රස්සාව මොකක්ද, මගේ අයියා මොනවද කරන්නේ, අපේ ගෙදර අය මොකද කරන්නේ? මේ පිළිබඳව පුළුල් විදිහට ප්‍රශ්න කරගෙන යනවා කියලා ගමේ අය ඇවිල්ලා අපිත් එක්ක කියනවා..ඉතින් ඒ කොහොම වුණත් මට වගකීමකින් කියන්න පුළුවන් මගේ තාත්තාවත් මගේ අයියාවත් කිසිම විදිහකින් පරිසර ජාවාරම්කරුවෝ නෙමෙයි..” යනුවෙන් ද ඇය සඳහන් කළාය.

තමන්ගේ පවුලේ අය මෙම සිදුවීමට සම්බන්ධ දැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය. සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ නිවස පිහිටා ඇති ස්ථානය පිළිබඳව හා ඔප්පු පිළිබඳව පළවන කතා සියල්ල අසත්‍ය බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Rate this item
(6 votes)

Related items