May 19, 2024

“චෝදනාව එල්ල කරපු තරුණියගේ නිවස තියෙන්නෙත් ඔය ඉඩම ආසන්නයේ” - අඩවි වන නිලධාරී කියන කතාව

පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් තරුණියක් විසින් සිංහරාජ වනාන්තරය හෙළි කිරීම සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඇයගේ ප්‍රකාශ සම්බන්ධව රත්නපුර අඩවි වන නිලධාරීවරයා විසින් ද සිය අදහස පළ කර තිබේ.

එහිදී අඩවි වන නිලධාරියා විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම ඉඩම සිංහරාජ වනාන්තර මායිමේ සිට කිලෝ මීටර් 7ක් දක්වා තිබෙන්නේ වන සංරක්ෂණය සඳහා වෙන් කරන ලද ඉඩම් බවයි.‍ එම වන සංරක්ෂණ සීමාවේ සිටත් තවත් කිලෝ මීටර් 06ක් දුරින් මෙම තරුණිය විසින් වන විනාශයක් සිදු වූවායැයි කියන ඉඩම ඇති බවද නිලධාරිවරයා පෙන්වා දෙයි. එම නිසා මෙම ඉඩම සිංහරාජ වනාන්තරයට හෝ එහි සංරක්ෂණ සීමාවට අදාළ නොවන බවද නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ඉඩම අවට ඇති සියලු ඉඩම් 100%ක්ම පුද්ගලික සින්නක්කර ඔප්පු සහිත ඉඩම් බවත්, එම ඔප්පු සඳහා වසර 30කට වඩා ඉතිහාසයක් ඇති බවද නිලධාරීවරයා පෙන්වා දෙයි.

එම ඉඩම්වල ඇත්තේ හොටෙල්, වෙළෙඳසැල් වැනි දේවල් බවත් රූපවාහිනී වැඩසටහනට පැමිණි තරුණියගේ නිවස ඇත්තෙත් එම ඉඩම ආසන්නයේ බවද අඩවි වන නිලධාරියා සඳහන් කර සිටියේය.

මෙම ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කිරීම සඳහා කිසිදු නීතීමය හැකියාවක් නොමැති බවත්, එසේ කිරීමෙන් පසුව ඉඩමේ අයිතිකරුවන් නඩු මාර්ගයට පිවිසියහොත් අති විශාල වන්දියක්ද ගෙවීමට සිදුවනු ඇති බවද නිලධාරිවරයා පෙන්වා දෙයි.

එසේ වන්දි ගෙවා පවරා ගත්තත් එම වැයවෙන මුදලින් සිංහරාජ වනාන්තරයට හිමිවන වාසියක් නොමැති බවත් එම ඉඩම පිහිටා ඇත්තේ සිංහරාජයට වඩා කිලෝ මීටර් 13ක් දුරින් වන නිසා බවද සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)

Related items