May 18, 2024

(EXCLUSIVE) 4 වන පේළියේ 4 දෙනාම කලකිරිලා: දෙන්නෙක්ගේ තත්වය බරපතලයිලු

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 4 වෙනි පේලියේ සිටින ජේෂ්ඨයන් 4 දෙනා දැඩි කලකිරීමකින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම පේලියේ පිළිවෙලින් අසුන් ගෙන සිටින මහින්ද සමරසිංහ, එස් බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න යන ජේෂ්ඨ දේශපාලනඥයින් හුදෙක්ම මන්ත්‍රී ධුරයකට පමණක් සීමා කොට තිබේ.

මේ සම්බන්ධයෙන් තම නම හෙළි නොකිරීමේ එකඟතාවය මත ඒෂියන් මිරර් වෙත අදහස් දැක්වූ ඔවුන් හතර දෙනාගෙන් එක් ජේෂ්ඨයෙකු සඳහන් කළේ තමන්ටත් වඩා කනිෂ්ඨයින් මෙන්ම පළමු වතාවට පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරු ඉදිරිපෙළ අසුන් ගෙන සිටින බවත් දක්ෂතාවය,හැකියාව හා අත්දැකීම් ඇති තමන්ගෙන් ආණ්ඩුව කිසිම වැඩක් නොගන්නා බවය.

මේ අතර ඔවුන් සිව් දෙනාගෙන් එක් අයෙක් සමග තමන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී තමන් වැඩි කලක් ඉවසන්නේ නැති බව තමන්ට දැනුම් දුන් බවට තොරතුරු සමගි ජන බලවේගය මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙත එළිදරව් කරන ලදී.

මේ සිව්දෙනාගෙන් එස් බී දිසානායක මහතාට පමණක් නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරය ලබාදී ඇති අතර ඔහුද එම පත්වීම ලබාදුන් ලිපිය මහනුවර මගුල් මඩුවේ දිවුරුම් දුන් ස්ථානයේ දමා ගොස් තිබූ බව වාර්තා වී තිබුණි.

මෙම සිව් දෙනාගෙන් එස් බී දිසානායක හා ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න යන මහතුන් දෙපළ 1989 ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර එස් බී දිසානායක මහතා 1994 දී කැබිනට් ඇමතිධුරයකටත් සෙනෙවිරත්න මහතා 1997 දී කැබිනට් ඇමතිධුරයකටත් තේරී පත් විය.

මහින්ද සමරසිංහ සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහතුන් 1994 මුල්ම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර යාපා මහතා 2000 දී ද සමරසිංහ මහතා 2006 වර්ෂයේ දී ද කැබිනට් ඇමතිධුර වලට තේරී පත් විය.

තමාට දිගටම හතරවන පේළිය අසුන් ගෙන සිටීමට සිදුවේ දැයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගිය වසර අග භාගයේ ජනපතිවරයාගෙන් විමසීමක් කර තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ජනපති පවසා තිබුණේ ඔබට වැඩි කලක් යාමට මත්තෙන් පාර්ලිමේන්තුවේ පළමු පේලියට ඒමට අවස්ථාව ලැබෙන බවය.

එහෙත් මේ සිව් දෙනාම පසුගිය යහපාලන ජාතික ආණ්ඩුවේ ඇමති ධූර දැරීම මෙවර ඇමති ධූරයක් නොලැබීමට හේතු වී ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Rate this item
(11 votes)
Last modified on Saturday, 24 July 2021 10:37

Related items