May 17, 2024

"විස්තර මකන්න බැහැ කිව්වා - පොලිසිය ඉල්ලුවොත් දෙනවා කිව්වා" - ලැඟුම්හලේ හිමිකාරිය සියල්ල හෙළි කරයි (VIDEO)

කොළඹ වේල්ලවීදියේ ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිස කදින් වෙන් කළ කාන්තා මල සිරුරක් හමු වුණේ පෙරේදා පස්වරුවේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි එල්.ඩී.ජයසූරිය නම් 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි. 

ඇයගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

ඝාතනයට ලක් වූ කාන්තාව පසුගිය පෙබරවාරි 27 වනදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇත්තේ මිතුරන් සමඟ ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසමිනි.

අනතුරුව අදාළ සැකකරු සමග කාන්තාව හංවැල්ල බස් නැවතුම් පොළ අසල පිහිටි ලැගුම් හල වෙත ගොස් ඇත.

එහිදී ලැගුම් හලේ පුද්ගලයින්ගේ නම් ඇතුලත් කරන පොතෙහි දෙදෙනාගේම නම් ඇතුළත් කොට ඇත.

ලැගුම් හලේ හිමිකාරිනිය සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.

"මේ දෙන්නා ආවේ 27 වෙනිදා රාත්‍රී 10.00ට. ඇවිල්ලා ගියේ 1 වෙනිදා උදේ 10.00ට. යන වෙලාවේ පිරිමි පුද්ගලයා තමයි මගේ ගාවට ඇවිල්ලා අයිඩෙන්ටි දෙකත් අරගෙන බිල ගෙවලා ගියේ. හැබැයි මෙයත් එක්ක ගෑණු කෙනා යනවා මම දැක්කේ නැහැ. පහුවෙනිදා තමයි දැන ගත්තේ මෙහෙම බෑග් එකක මළ සිරුරක් දාගෙන ගිහින් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ ගැන පොඩි මතකයක් ආවා. ඊට පස්සේ උදේ 8.00ත් 8.30ත් අතර මට කෝල් එකක් ආවා. ඒකෙන් මගෙන් ඇහුවේ අයිඩින්ටි ගත්තම ඔබතුමිය ලියනවද කියලා. ඉතින් මම කිව්වා ලියනවා කියලා. ඔහු ඇහුවා මේවා මකන්න බැරිද කියලා. මම කිව්වා මකන්න බැහැ කියලා. කවුරුත් ආවොත් දෙනවද කියලා ඇහුවා. මම කිව්වා පොලිසියෙන් ආවොත් දෙන්න අපි බැඳිලා ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු ෆෝන් එක තිබ්බා."

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ගමන් මල්ලක්ද අතැතිව හංවැල්ල නගරයෙන් පිහියක් මිලදී ගන්නා අයුරුද අසල වූ සිසිටිවී කැමරාවේ සටහන් වී තිබිණි.

පොලිසිය සැක පල කරන්නේ අදාළ ලැගුම්හල තුලදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවයි.

මෙම ඝාතන සිදුවීමේ පරික්ෂණ සම්බන්ධව ඊයේ (03) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ පොලිස් මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර සිටියේ තරුණියගේ හිසට සිදු වු දෙය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

නමුත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම අපරාධකරු ගමන් මල්ල ගෙන යන අවස්ථාවේ ඔහුගේ කරේ එල්ලාගෙන සිටි අනිත් ගමන් මල්ල තුළ ඝාතනය කරන ලද තරුණියගේ හිස දමාගෙන යන්නට ඇති බවට සැක පළ කරන බවයි.

එම කරුණ ඔස්සේ දැන් පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 March 2021 11:57

Related items