May 18, 2024

ආණ්ඩුවේ පිල් බෙදීමක්! පසුපෙළ මන්ත්‍රීවරු අලුත් සංවිධානයක් හදයි - මන්ත්‍රීවරු ලිපියකටත් අත්සන් තබයි

February 11, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ ඊයේ (10) දහවල් පවත්වා තිබේ.

එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා මෙම සංවිධානයේ අරමුණ විය යුතු බවයි.

ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන්ද පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහිදී අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමතිවරුන්ට සිහිපත් කර දෙන්නට සිදුවී ඇතැයි ඔවුන් පවසා ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට එම මන්ත්‍රීවරුන් ලිපියකටද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට ඊයේ (10) පස්වරුවේදීම බාරදී ඇති බවද ආණ්ඩුපක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

Rate this item
(0 votes)

Related items