එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ නම් එජාපයට එකතු වෙනවාද කියා තීරණය කළ හැකි බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.
පැරණි පක්ෂය වූ එජාපය එක් මන්ත්‍රී ධූරයකට සීමාවීම ගැන කණගාටුවන බවත් මේවන විට ප්‍රධාන විපක්ෂය සමගි ජනබලවේගය බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන්නේ සමගි ජනබලවේග සන්ධානයකින් බවත් කියා සිටියේය.
එම සන්ධානයට අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයට එක් විය හැකි බවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කිරීමට තව කල් තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
"ඔළුවල එක එක දේවල් තියාගෙන පෞද්ගලික මත ප්‍රකාශ කරන්න පුළුවන්. තව මාස කිහිපයකින් ආණ්ඩු බලය ගන්නවා කියලත් එජාප ලේකම්වරයා කියලා තිබුණනෙ. එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පත් කර ගන්න බැරුව ඉන්න එජාපය ඊලඟ ආණ්ඩු බලය ගන්නවා කියලා පිළිගන්න පුළුවන් මොලේ අමාරුවක් තියෙන කෙනෙක්ට විතරයි. රටේ ජනතාව ප්‍රතික්ෂේප කළේ වසර විසි හයක් පක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහව. ඔහු නායකයා වන දිනය දක්වා නිදහසින් පසුව වසර 32ක් රට පාලනය කළේ එජාපයයි. ඉදිරි මැතිවරණයකදී අප සමඟ එකතු වෙලා ඡන්දය ඉල්ලන්න යැයි අපි එජාපයට ආරාධනා කරනවා. එහෙම නැති වුණොත් ලංකාවෙන්ම ඡන්ද ලක්ෂයක්වත් ගන්න බැරිවෙයි." යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.