May 18, 2024

පාර්ලිමේන්තුවේ තීන්දුව වෙනස් කරයි - තත්වය දරුණු බැවින් ඇන්ටිජන් වෙනුවට PCR කරයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හෙට (13) සහ අනිද්දා (14) පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කැමැතිනම් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ පී.සී.ආර්. පරික්ෂණයට ලක්වන ලෙසට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉල්ලීමක් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අද (12) සහ හෙට (13) ඇන්ටිජන් පරික්ෂණයකට ලක් කිරීමට මින් පෙර තීරණය කළ නමුත් එම අදහස වෙනස් කළ බවද වේත්‍රධාරීවරයා පැවැසුවේය.

දැනට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති මන්ත්‍රීවරුන් සහ පසුගිය සතියේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම්වරයාගේ සමීප ආශ්‍රිතයින් බවට කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු හඳුනාගෙන ඇත. එම නිසා කාර්ය මණ්ඩලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට තීරණය කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ වන විට කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටි සහ ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)

Related items