May 10, 2024

ඩයනාගේ පැනිල්ල ඵලදරයි - පළමු ඉල්ලීම ජයගනී : හිමි නම නිදහස් වෙයි

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමි වීම පිටුපස සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය හා ඇගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා මහතා සිටින බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ආණ්ඩුවට සහය දීමට හේතු වූ එක් කරුණක් වූයේ ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව ලබා ගැනීම බව ඒ අවස්ථාවේ ඒෂියන් මිරර් වාර්තා කරන ලදී.

නීති විරෝධී අන්දමින් ගිනි අවි තබා ගැනීමේ චෝදනාව මත පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වුවද ආයුධ අත්අඩංගුවට ගැනීම පිටුපස ඒ අවස්ථාවේ එවකට ජනපති අපේක්ෂකයාව සිටී සරත් ෆොන්සේකා මහතාට උන්වහන්සේ සහයෝගය දැක්වීමද හේතු වූ බව ප්‍රකට කරුණකි.

ඌවතැන්නේ සුමන හිමියන්ව අවි ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවේ 2010 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර එනම් ජනවාරි 2 වැනිදා උන් වහන්සේගේ විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන සේනක ද සිල්වා මහතා එවකට ජනපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අතර ජනාධිපතිවරණයෙන් පසු එම දෙපළ ද සිරගත කෙරිණි.

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් හා සේනක ද සිල්වා මහතා අතර එවකට ඉතා කිට්ටු සම්බන්ධයක් තිබූ බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2021 13:18

Related items