May 18, 2024

වසංගතය මර්දනය කළ හැකියි - හැබැයි ජනතා සහය අත්‍යවශ්‍යයයි

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිත පොකුරට අයත් සාමාජිකයන්ගේ ආශ‍්‍රිතයන් රටේ බොහෝ ප‍්‍රදේශවල විසිරී සිටින බවත් පසුගිය දිනවල දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් මෙන්ම රජයේ රෝහල්වලින් වාර්තා වූ ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ද මෙම ආසාදිත පොකුරේ ආශ‍්‍රිතයන් බව හඳුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.
 
පසුගිය දිනවල රටේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වූ ඇතැම් කොරෝනා ආසාදිතයන් බ‍්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධ ද නැතහොත් වෙනත් මාධ්‍යයකින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්දැයි තවමත් කිව නොහැකි බවත් දැනට පවතින තත්ත්වය මත රටේ සැම තරාතිරමකම අය තම වගකීම ඉටු කරමින් පොදු ස්ථානවලදී/ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමේදී මුහුණු ආවරණ (මාස්ක්) පැළඳීම, එකිනෙකාට මීටරයක්වත් ඇතින් සිටීම හා සබන් /විෂබීජනාශක දියරයකින් දැත් නිතර පිරිසිදු කර ගැනීම යන කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් දිගටම අනුගමනය කරන්නේ නම් මෙරට කොරෝනා වෛරසය පැතිරීම තවමත් පාලනය කළ හැකි බව වෛද්‍ය බණ්ඩාර කීවේය.
 
කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවති කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ ප‍්‍රවෘත්ති සාකච්ජාව අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය බණ්ඩාර

”පාලනය කළ හැකි මට්ටමක පැවතිය ද කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළහොත් වෛරසය රට පුරා පැතිරීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම මෙම දිනවල වෛරසය පැතිරීමත් වැඩි මට්ටමක පවතිනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදරශනය නැරඹීමට පැමිණ පසුව කොරෝනා ආසාදිතයකු බව හඳුනාගත් හලාවත ප‍්‍රදේශයේ පදිංචි තැනැත්තා ද බ‍්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිත පොකුරට අයත් බව අනාවරණය වී තිබෙනවා. එම පොකුරේ කී දෙනෙකු එම ප‍්‍රදර්ශනට ගියේ දැයි කිව නොහැකියි..රජයේ රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සමහරෙක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් කොරෝනා වෛරසය රජයේ රෝහල්වල පැතිරෙනවා කියා අදහස් වන්නේ නැහැ, වෛරසය රෝහල්වල පැතිර ගොස් නොමැති නිසා රෝගීන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ. 

මේ වනවිට කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අඩංගු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව ගැසට් කිරීමට කටයුතු කරමින් පවතින නිසා එම ගැසට් නිවේදනය නිකුත් වූ පසු බොහෝ ආයතන සීමාවන් ඇතිව ක‍්‍රියාත්මක වනු ඇත” යැයි ද වෛද්‍ය බණ්ඩාර අවධාරණය කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය බණ්ඩාර කියා සිටියේ දැනට අගුලූ දමා තිබෙන ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ හරහා දුම්රිය ඇතුළු වාහන ගමන් කිරීමේදී අවට වාතයේ කොරෝනා වෛරස් අංශු පැවතිය හොත් ඒවා එම ප‍්‍රවාහන සේවාවන් තුළට පැමිණීමට ඉඩක් තිබිය හැකි බවත් එම මතය බැහැර කළ නොහැකි කරුණක් බවත්ය. කෙසේ වුව ද ඒ පිළිබඳව මෙතෙක් අධ්‍යයනයක් සිදුකර නොමැති බව ඔහු කීවේය.
 
නැගෙනහිර කොළඹ රෝහල මගින් පසුගිය මාස 05 ක කාලය තුළ ප‍්‍රජාව තුළ ‘පී.සී.ආර්’ පරීක්ෂණ 33,000 ක සංඛ්‍යාවක් සිදු කළ යුතු වුව ද මෙතෙක් සිදුකර ඇත්තේ එම පරීක්ෂණ 15,000 ක් පමණක් බවට චෝදනා එල්ල වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)