April 20, 2024

අපි ඉන්නේ භයානක තත්ත්වයක - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

ප්‍රධානතම PCR පරීක්ෂණ යන්ත්‍රය බිඳවැටීමත් සමඟ මෙරට දෛනිකව සිදුකළ හැකි PCR පරීක්ෂණ සංඛ්‍යාව 8000ක උපරිමයකට යටත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මං හිතන්නෙ මීට දවස් තුන හතරකට කලින් මං කිව්වා මේ කතාව, අපි ඉන්නෙ භයානක උවදුරක් ඉදිරියේ තබාගෙන, අපට තාම එහි භයානක නොවන තත්වයක් ගැන කියන්න පුළුවන්කමක් නැහැ. මොකද, වාර්තා වන රෝගීන් ප්‍රමාණය අඩුවීමක් දකින්න ලැබෙන්නෙ නැහැ. 

අපේ රටේ මහජනතාව අවබෝධ කරගන්න ඕනෙ වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි අපේ PCR කිරීමේ ධාරිතාවය පිළිබඳව. එතකොට අපට දිනකට හම්බුවෙන රෝගීන් ප්‍රමාණය මේ රෝගය පහුගිය කාලෙ පැතිරිච්ච වේගයත් එක්ක සැලකිලිමත් වෙනකොට අපේ PCR පරීක්ෂණ කිරීමේ ධාරිතාවයත් එක්ක වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය මීට වැඩිය යම්කිසි ප්‍රමාණයකින් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනෙ මහජනතාවගෙන් වෙන්න ඕනෙ දායකත්වය නිවැරදිව ලබාදෙන්න. 

මේ වෙලාවෙ රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ එකතුවෙලා සංචරණය සීමා කරලා රෝගය ව්‍යාප්ත වීම පාලනය කරන්න උපරිම වෙහෙස වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොත අපි වගකීමෙන් වැඩ කළයුතු, හෙට දවසේ හමුවෙන රෝගීන් ගැන 100%ක්ම නිර්ණායකයක් ඉදිරිපත් කරන්න බැරි, යම්කිසි විදියකින් ඉදිරියට පොඩ්ඩක් අවදානම් සහගත තත්වයක්. මේ වෙලාවෙ නිවැරදි උපදෙස් පිළිපැදලා හරියට ක්‍රියාත්මක කළොත් අපට පුළුවන් වේවි ඉදිරිය යහපත් කරගන්න. ඒ හින්දා මේ තියෙන්නෙ අපට හරියට අනාවැකි කියන්න බැරි අවස්ථාවක්" යැයි රටේ වත්මන් කොරෝනා තත්වය පිළිබඳ පැහැදිලි කරමින් ඒ මහතා ප්‍රකාශ කළේය. 

PCR පරීක්ෂණ ධාරිතාවය පිළිබඳ විමසීමේදී, "අමාත්‍යාංශයේ අධ්‍යනයන්ට අනුව තීරණය කරලා තියෙන්නෙ දවසකට 7000ත් 8000ක උපරිමයකට යටත්ව උපරිම හැකියාවන් යොදලා PCR පරීක්ෂණ කරන්න පුළුවන් බව. එතකොට එක යන්ත්‍රයක් කැඩෙනවා කියන්නෙ ඒ යන්ත්‍රය දවසකට 500 - 1000 අතර පරීක්ෂා කරපු යන්ත්‍රයක්. ඕනෑම යන්ත්‍රයක් එක දිගට කාලයක් පාවිච්චි කරනකොට එහි යම් යම් අකර්මණ්‍යතා ඇතිවෙන්න පුළුවන්. එය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කරන්න ඕනෙ. ඒ චීන රටේ සමාගමට අදාළ විශේෂඥයෙක් ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරලා තියෙනවා. මේක තාවකාලික තත්වයක්, එය තව දවසක් හෝ දෙකක් ඇතුළත යථා තත්වයට පත්වේවි. 

නමුත් අපට තියෙන ධාරිතාවයත් එක්ක වැඩිපුරම භාවිතා කරන්නෙ අපි රසායනාගාරවල සේවය කරන එම්. එල්. ටී. නෝනලා මහත්තයාලාගෙ මැනුවල් එක්ස්ට්‍රෑක්ශන් කියන ක්‍රමවේදය. ඉතිං ඒක හින්දා ඔවුන්ගේ කාර්යක්ෂමතාවයත් එක්තරා සීමාවකින් ඔබ්බට යන්න බැහැ. අපට මැෂින් තියෙන ප්‍රමාණය අනුව ෆුලි ඔටෝමේශන් තාක්ෂණය තාම ආරම්භ කරලා නැති හින්දා මේ සීමාසහිත තත්වය තියෙන්නෙ. ඒ හින්දා මේ මැෂින් කැඩෙනවා කියන එක එකදිගට නොකඩවා පරීක්ෂණ කරනකොට ඒක වෙන්න පුළුවන් තත්වයක්, නමුත් ඒවා යථා තත්වයට පත් කරගන්නට දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. ඉදිරි දින දෙක තුන තුළ මේක යථා තත්වයට පත් කරන්න පුළුවන්. අපේ පැත්තෙන් අවශ්‍ය දායකත්වය දෙන එකයි මේ වෙලාවෙ කරන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම PCR පරීක්ෂණ සඳහා ලබාගන්නා සාම්පල් රසායනාගාර කරා ගෙනයාමට අවශ්‍ය VTA හිඟයක් ඇතිද යන්න විමසීමේදී ඒ මහතා පැවසුවේ "මේ දවස්වල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා නිෂ්පාදනය කරන්නෙ නෑ, ඒ කටයුත්ත ඇණහිටලා තියෙන්නෙ. හැබැයි පහුගිය කාලය පුරාවටම වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් 150,000කට වැඩිය රජයට ලබාදීලා තියෙනවා. රෝගීන්ගේ සාම්පල ගන්න ලබාදීලා තියෙනවා රුපියල් 350ක් වැනි අවම පිරිවැයක් යටතේ. ඒ ඒවා නිෂ්පාදනය කරන්න යන වියදම. 

මේක වෙළඳපොලේ ඇතැම් කාලවල ඉතාමත් අධික මිලට යන කාලෙ තමයි වෛද්‍ය පර්යේෂණ ආයතනය ඒ දායකත්වය ලබාදුන්නෙ. වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කියන්නෙත් මේ පරීක්ෂණයේ එක කොටසක්. පරීක්ෂණය කරන්න ටෙස්ට් කිට් කියන එකක් ඕනෙ. එක්ස්ට්‍රෑක්ශන් කිට්ස් කියන ජාතියත් ඕනෙ. ඊට අමතරව රෝගියාගෙන් වෛරස් එක රසායනාගාරයට ගෙනයන්න ඕනෙ කරන මාධ්‍ය සහ එය ලබාගන්නා උපකරණය තමයි වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කියන්නෙ. 

මේ දවස්වල වෙන්නෙ නෑ, මේ දවස්වල අපේ හදන්න යම් යම් බාධක තියෙන නිසා. මේ දවස්වල වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා වෙළඳපොලෙන් මිලදී ගැනීම තමයි සිද්ධ වෙන්නෙ. නමුත් මං දන්න විදියට ඇතැම් අවස්ථාවල විතරක් පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒත් දැනට සාම්පල් ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා" යනුවෙනි. 

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන කරා රෝගීන් ගෙන යාමේදී ඇතැම් ස්ථානවල මතුවූ විරෝධතා පිළිබඳ අදහස් දක්වමින් "නිරෝධායනය කියන එකේ පරමාර්ථය කාවවත් හිරකරලා තියාගන්න එක නෙවෙයි. ඒ වැරදි අවබෝධය ගන්න එපා. මහජනතාව තේරුම් ගන්න ඕනෙ, නිරෝධායනය කරන්නෙ ඔබේම පවුලේ සාමාජිකයින්ගේත් රටේමත් සුබසිද්ධිය තකා. මං දැක්කා ප්‍රවෘත්තිය අම්මා කෙනෙක් අරගෙන යන්න හදනකොට පුතෙක් විරුද්ධ වෙනවා, හැබැයි අම්මා ඒ ගෙදරම හිටියොත් එහෙම තව කෙනෙකුට බෝකරලා, අල්ලපු ගෙදරකට බෝ කරලා, ඒ ප්‍රදේශයට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මහජන සුබසිද්ධිය තකා තමයි ආසාදිතයෙක් වෛරස් තව කෙනෙක්ට බෝකරන්න පුළුවන් කෙනෙක් වෙන් කරලා තියාගෙන ඉන්නෙ ටික කාලයක්. ඒකෙ හිරකරලා තියාගෙන ඉන්නෙ නැහැ. එතන කන්න බොන්න තියෙනවා, ඉන්න පුළුවන්, දුරකථනය භාවිතා කරන්න පුළුවන්, වාතාශ්‍රය හොඳට තියෙනවා, කාමරේක දාලා ලොක් කරලා නැහැ. ගෙදරින් එහා වෙනත් ස්ථානයක වෙන් කරලා, තවත් කට්ටියට මේක බෝවෙලා ඉදිරියේදී වෙන්න තියෙන ව්‍යසනය වළක්වා ගැනීමයි මේ කරන්නෙ. 

ඒ නිසා නිරෝධායනයට යන ඕනෙ කෙනෙක්ට සියලු ආරක්ෂාව හම්බවෙනවා. බොහෝවිට ආරක්ෂාව අතින් ගත්තාම නිරෝධායන මධ්‍යස්ථානය නිවසට වඩා ආරක්ෂිතයි. ගෙදරදි කොරෝනා ආසාදිතයෙක් ඉන්නකොට හදිසියේ අමාරු වුණොත් රෝහලකට ගෙනියන්න ඇම්බියුලන්ස්, රෝහල්වල ඉඩකඩ වගේ ගැටළුවක් ඇති වෙන්නත් පුළුවන්, එතකොට පරක්කු වෙන්නත් පුළුවන්. නමුත් නිරෝධායන මධ්‍යස්ථානයක හිටියොත් ඒ වෛද්‍ය ප්‍රතිකාර සියල්ල ඉතාම කඩිනමින් කරන්නත් පුළුවන්. ඒ නිසා මං මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ මේ වෛරස් ආසාදනය තියෙන කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට යන එක එයාගෙම ආරක්ෂාවට, රැකවරණයට වඩාත් වැදගත් වෙනවා කියන එකයි" යනුවෙන් ඒ මහතා පැවසීය. 

Rate this item
(0 votes)

Related items