April 27, 2024

රටක් වෙනුවෙන් ලොවක් හඬද්දී වීණා වයන ආණ්ඩු වියතුන්

දහස් ගණනින් පෙත්සමකට පෙළ ගැසෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේවන විට මෙරට පරිසර පද්ධතියට සිදුව ඇති පාඩුව ගණනය කළ නොහැක්කක්. 

මෙවන් පසුබිමක මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පෙත්සමක් නිර්මාණය වී තිබෙනවා. 

නෞකා අනතුරෙන් සිදුවූ හානි සියල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙත වන්දි ලබා දෙන ලෙස, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමවන එක්ස්ප්‍රස් ෆීඩර්ස් වෙත බල කිරීම මෙහි අරමුණ වී තිබෙනවා. 

නෞකා ව්‍යසනයෙන් සිදුවූ පාරිසරික සහ ආර්ථික පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 05කටත් වඩා වැඩි බවත්, මීලඟ වසර 03 ඇතුළත එම වන්දි ගෙවිය යුතු බවටත් අදාළ පෙත්සමෙන් යෝජනා කරනවා.

මෙම පුවත පළ කරන අවස්ථාව (ජුනි 07 - පෙරවරු 9.30) වන විටත් එම පෙත්සමට අත්සන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා. 

මෙරට මෙන්ම විදෙස් ප්‍රජාව ද එයට අත්සන් තබා තිබෙන අයුරු දැකගත හැකි වූවා.

මෙය අත්සන් තැබීම ලොව ඕනෑම පුද්ගලයෙකුට සිදු කළ හැකි අතර අත්සන් තබන අවස්ථාවේ දී සිය අදහස් පළ කිරීමේ අවස්ථාව ද ලැබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය පමණක් නොව, විවිධ ජාත්‍යන්තර සංවිධාන සහ ප්‍රසිද්ධ පුද්ගලයින් පවා ශ්‍රී ලංකාවට සිදුව ඇති පරිසර ව්‍යසනය පිළිබඳව කම්පා වෙමින් සිටිනවා.

ජාත්‍යන්තරය මෙය දක්වන්නේ ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුතම පාරිසරික විනාශය ලෙසට යි.

ආණ්ඩු හිතවාදීන්ගේ අලුත් වැඩේ

ජාත්‍යන්තරය පවා එලෙස කම්පා වෙමින් සිටිය දී ආණ්ඩුව නියෝජනය කරන විවිධ පිරිස් සහ ආණ්ඩුවට සහය පළ කරන විවිධ සංවිධාන ආදිය, ‘නෞකා සිද්ධියෙන් මෙරට පරිසරයට සැළකිය යුතු හානියක් සිදුව නොමැත’ යන මතය සමාජගත කිරීමට උත්සහ දරමින් සිටින බව නිරීක්ෂණයවනවා.

වඩාත් කණගාටුවට කරුණ වන්නේ ආණ්ඩුවේ පිරිස් මේ සඳහා ඇතැම් වෘත්තීයවේදීන් ද යොදාගනිමින් සිටීමයි.

ඉහළ ජෛව වටිනාකමක් පවතින මෙරට වෙරළ තීරය ඇස් මනාපිටම විනාශ වෙමින් පවතිද්දී වෙරළ සංරක්ෂණය සඳහාම වෙන්වුණු විෂය ක්ෂේත්‍රයක් ලැබී තිබෙන නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර ඇත්තේ පුදුම සහගත සටහනක්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක නමැත්තෙකුගේ සටහනක් උපුටා දක්වන ගොඩහේවා අමාත්‍යවරයා සඳහන් කරන්නේ ගැලරියට විසිල් සඳහා විහිළු නොව දැණුම දෙන්න හදන මහාචාර්යවරුද සිටීම භාග්‍යයක් බවයි.

ලොකු හානියක් නැතිලු - ගණන් ගන්න එපාලු

මෙය මහා පරිසර විනාශයක් බව බොහෝ දෙනා ප්‍රකාශ කළත් නෞකාවෙන් සිදු වී ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ පරිසර හානියක් බව අදාළ ලිපියෙහි දැක්වෙනවා.

නෞකාවේ තිබුණු අම්ල සාගර ජලය හා එක් වූ විට තනුකවන බවත් එම නිසා ඉන් හානියක් නැති බවත්, විවිධ විශේෂඥයින් පැවසූ පරිදි මින් අම්ල වැසි ඇතිවීමේ අවදානමක් නොමැති බවත් ඔහු ඉතා උනන්දුවෙන් සටහන් තබා තිබෙනවා.

නෞකාවේ ඇති තෙල් මුහුදට එක් වුවත් එය ද ගැටලු සහගත නොවන බව මෙම මහාචාර්යවරයා ප්‍රකාශ කිරීම විශ්මය දනවන්නක්.

ඔහු පවසන්නේ නෞකාවෙහි ඇති සියළු තෙල් සාගරයට එක් වුව ද බැක්ටීරියා මගින් ඒ සියල්ල කෙටි කලක් තුළ වියෝජනයට ලක්කරන බවයි.

ඒක නෙවෙයි මේක - මේවා හොඳ ප්ලාස්ටික්

නෞකාවෙන් සාගරයට එක් වූ කෝටි ගණන් ප්ලාස්ටික් කැබලි පිළිබඳව ඔහුගේ අදහස ද පුදුම සහගත එකක්.

නිරන්තරව කොතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් මිනිසුන් විසින් සාගරයට එක් කරන්නේද යනුවෙන් ඔහු ප්‍රථමයෙන්ම ප්‍රශ්ණ කරන අතර ඒ හරහා මෙම ව්‍යසනයේ “සැර බාල කිරීමට” උත්සහ දරා ඇති අයුරු ද පැහැදිළිව දැකගත හැකියි.

පසුව ඔහු පවසන්නේ නෞකාවෙන් සාගරයට එකතු වී ඇත්තේ “පිරිසිදු” ප්ලාස්ටික් බවයි.

මේවා දිරාපත් නොවීම සත්‍යයක් වුව ද ඉන් කිසිදු අහිතකර බලපෑමක් නොමැති බවත්, එකම දේ වෙරළ අවලස්සන කිරීම පමණක් බවත් ඔහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙම ප්ලාස්ටික් සතුන් විසින් ආහාරයට නොගන්නා බව සපථ කරන මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙම ප්ලාස්ටික්වලට සාගරයේ ඇති දූෂිත ද්‍රව්‍ය අවශෝෂණය කර ගත හැකි බවයි.

ඒ අනුව මෙම ප්ලාස්ටික් කැබලිවලින් මුහුදු ජලය පිරිසිදුවන බව ඔහු පවසා තිබෙනවා.

එහෙම නම් ඇයි මෙච්චර වේදනා?

මෙම සටහනේ ඇති සියළුම කාරණා සත්‍යය ඒවා නම්, මෙරට මෙන්ම විදේශීය විශේෂඥයින් පවා මෙම ව්‍යසනය පිළිබඳව කම්පිතව පළ කරන අදහස් සියල්ල අසත්‍ය ඒවා විය යුතු යි.

එමෙන්ම පරිසර සංවිධාන සහ අනෙකුත් අංශ මෙම ව්‍යසනය සම්බන්ධව දැඩි ලෙස වෙහෙස වී කටයුතු කරන අතර අදාළ මහාචාර්යවරයාගේ සටහන සත්‍ය නම් ඔවුන් එලෙස වෙහෙස වන්නේ මන්දැයි යන්න ගැටලුවක්.

මසුන් මෙම ප්ලාස්ටික් කැබලි ඍජුව ආහාරයට නොගත්තත්, ඒවා ඔවුන්ගේ කරමල් තුළ සිරවී ඇති ආකාරය දැක්වෙන මාධ්‍ය දර්ශන අදාළ මහාචාර්යවරයා දැක නොමැති බව ද පිළිගත නොහැක්කක් ලෙස පැවසිය හැකියි.

එමෙන්ම මියගිය මසුන්, ඩොල්ෆීන් සහ කැස්බෑවුන්  දිවයින වටා විවිධ පෙදෙස්වලින් හමුවීම ඉතා පහසුවෙන් මෙලෙස බැහැරකරලිය හැකි ද?

තෙල් කාන්දුවක් වුවහොත්, ඉන් සිදුවිය හැකි හානිය දැඩි බවත්, එය පාලනය කිරීමට සියළු කටයුතු මේවන විටත් සූදානමින් තබා ඇති බවත් විශේෂඥ කණ්ඩායම් පවසන පසුබිමක, තෙල්වලින් හානියක් නැති බව ද ඒවා බැක්ටීරියා මගින් වියෝජනයවන බව දඇඟට පතට නොදැනී ප්‍රකාශ කිරීම සැබැවින්ම ඇස් රතුවන විහිළුවක්.

වෙනත් රටවල්වල සිදුවූ තෙල් කාන්දුවලින් හටගත් පරිසර හානි පිළිබඳව ද, එම රටවල් වසර ගණනකට පසුත් පාරිසරික වශයෙන් විඳවන ආකාරය ද නොදත් මහාචාර්යවරුන් සිටිය හැකිද?

බල්ලාගෙ වැඩේ කරන බූරුවෝ

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලයෙකු ලෙස පමණක් නොව වෙරළ සංරක්ෂණයටම වෙන් වූ අමාත්‍යංශයක් දරණ අමාත්‍යවරයෙකු මෙන්ම, වත්මන් රජය බලයට පත් කිරීමටම කැපවූ 'වියත්මග' සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු ද ලෙස නාලක ගොඩහේවා ඉහත කාරණා ජන මනස තුළ තැන්පත් කිරීමට තැත් කිරීම සැබැවින්ම ඛේදජනක තත්ත්වයක් බව, පරිසරය පිළිබඳ සංවේදී ඕනෑම කෙනෙකුට හැඟෙන්නක්.

මේ අතර පූර්ව මැතිවරණ සමයේදී මෙන්ම මැතිවරණයෙන් පසුත් ආණ්ඩුවට සහය දෙන පිරිස් ද සිදුව ඇති පරිසර හානිය විහිළුවක් සේ බැහැර කරන අයුරු දක්නට ලැබුණා.

වෙරළ නිරීක්ෂණය කිරීමට යැයි පවසමින් සරක්කුව ප්‍රදේශයට පැමිණි සිංහලේ ජාතික සංවිධානයේ ද හැසිරීම එවැනි එකක් වූවා.

ඔවුන් කැඳවාගෙන පැමිණි නිමල් රත්නසිරි නමැත්තෙකු මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් ප්‍රකාශ කළේ වෙරළට ගොඩගසා ඇති ප්ලාස්ටික් කැබලි රසායනික වශයෙන් ක්‍රියාකාරී ඒවා නොවන බවයි.

මෙම පුද්ගලයා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු ප්‍රධාන රසායනඥයෙකු බව අදාළ සංවිධානය ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේවා උදාසීන බැවින් ජීවීන්ට හානි සිදු කිරීමට මෙම ප්ලාස්ටික් කැබලිවලට නොහැකි බවයි.

අනතුරුව මාධ්‍ය ඉදිරියේ ‘දේශනාවක්’ සිදු කළ සිංහලේ සංවිධානයේ මහලේකම් මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්‍රකාශ කළේ ඔවුන්ගේ “රසායන විද්‍යාඥතුමා” කරුණු පැහැදිළිව ඉදිරිපත් කළ බවයි.

සාගරයට සහ වෙරළට නෞකාවෙන් සිදුව ඇති හානිය ඉතා අවම බව තමන්ට ද නිරීක්ෂණය වූ බව උන්වහන්සේ සඳහන් කළා.

අදාළ සංවිධානයේ ජාතික සංවිධායක ලෙස හඳුන්වන ප්‍රදීප් සංජීව නමැත්තා ද ප්‍රකාශ කළේ විද්‍යාවයි දේශපාලනයයි පටලවාගෙන ඇතැමුන් කටයුතු කරන බවයි.

මෙම පරිසර විනාශය පිළිබඳ පසුගිය දා කාදිනල් හිමිපාණන් පළ කළ අදහස් ද මොවුන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර එය පිටුපස ඇත්තේ විදෙස් බලවේග බව ද ඔහු සඳහන් කරනවා.

නෞකාවෙන් විශාල පරිසර විනාශයක් සිදුව නොමැති බව පිළිබඳ විද්‍යාත්මකව නිගමනය කිරීමට මැඬිල්ලේ හිමි ඇතුළු පිරිසට ඇති සුදුසුකම කුමක්ද?

ජාතික සංවිධාන යැයි හඳුන්වාගන්නා මෙවන් කණ්ඩායම් හරහා මෙම ව්‍යසනය සුළු කොට තැකීමට ජන මනස හුරුකරවීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බව මෙම ප්‍රකාශ හරහා සක්සුදක් සේ පැහැදිළිවන කාරණාවක්.

එමෙන්ම වත්මන් පාලකයින් විපක්ෂයේ සිටිය දී, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට වඩා සුළු ගැටළුවකදී පවා ඇවිස්සුණු, ප්‍රකෝපකාරී වුණු පිරිස්ම මේ මොහොතේ දී එම වෙස් මුහුණ ගලවා දමා සිදුකරන 'කබරගොයා තලගොයා කරගැනීමේ' කාර්යය සැබැවින්ම විහිළු සහගතවනවා මෙන්ම මෙවන් යටි ව්‍යාපෘති ක්‍රියාත්මක වීම රටේත් ජාතියේත් අවාසනාවක් ද වනවා.

මෙවැනි මතවාද සමාජගත වීමට ඉඩ ලබා නොදීම පරිසරය පිළිබඳව, රට පිළිබඳව සුළු හෝ ‘සැබෑ’ කැක්කුමක් ඇති සැමගේ වගකීම බව පැවසිය යුතුයි.

එසේත් නොමැති නම් වර්තමානයේ දී බහුතර පොදුජන මනස දේශපාලනික වශයෙන් හිරිවැටී සිටින්නාක්මෙන්, අනාගතයේ දී පරිසරය, රාජ්‍ය සම්පත්, සොබා සෞන්දර්යය කෙරෙහි අසංවේදී පරපුරක් බිහිවීම වැළැක්විය හැකි ද?

 

image 

host
Rate this item
(0 votes)
Last modified on Monday, 07 June 2021 13:10

Related items