May 14, 2024

අමුතු විදිහට ඇවිද්දේ ඇයි? ගුදමාර්ගයෙන් හමුවූ දෙයින් පොලීසියත් පුදුම වෙයි!

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් විලාශයේ වෙනසක් නිරීක්ෂණය කිරීම හරහා කෝටි ගණනක ජාවාරමක් හසුකර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (12) සමත් වී තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ උදෑසන 7.13 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ WY 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ගුවන් යානයෙන් බැසීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ හරහා ගමන් ගත් ඔහු ඇවිදින විලාශයේ යම් අමුත්තක් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට නිරීක්ෂනය වී තිබෙන බව සඳහන්.

ඒ අනුව ඔහු සතුව මත්ද්‍රව්‍ය ඇතැයි සැක කළ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර තිබෙනවා.

එහි දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ ගුදමාර්ගය තුළ යම් කිසි ද්‍රව්‍යයක් තැන්පත් කර පවතින බවට යි.

එය පරීක්ෂා කළ නිලධාරීන්ට ඔහුගේ ගුද මාර්ගයේ තිබී හමු වී ඇත්තේ රන් බිස්කට් තොගයක්.

මෙම රන් බිස්කට් ප්‍රමාණය 18ක් බව වාර්තා වෙනවා.

එහි වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවයි පැවසෙන්නේ.

මෙම එක රන් බිස්කට්ටුවක් ග්‍රෑම් 100ක පමණ බරින් යුතු බව කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පවසනවා.

37 හැවිරිදි පුද්ගලයෙකුවන මොහු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

රන් බිස්කට් තොගය සමග මෙම ගුවන් මගියා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බව ද එම නිලධාරීන් ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 08:37