May 19, 2024

ප්‍රතිප්‍රහාරයකට සූදානම් - Kickass අඩවියේ පිටපතක් දැනටමත් සාදා අවසන් (PHOTOS)

ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා අන්තර්ජාල පරිශීලකයින් ටොරන්ට් තාක්ෂණික ක්‍රමවේදය හරහා විවිධ දෑ බාගත කර ගැනීමට භාවිත කළ Kickass Torrents වෙබ් අඩවියෙහි නිර්මාතෘවරයා ඊයේ දින අත්අඩංගුවට ගත්තා.

ඒ සමගම Kickass Torrentsහි ප්‍රධාන වෙබ් ඩොමේන් නාමයවන www.kat.cr ඇතුළු එම වෙබ් අඩවියට ඇතුළු විය හැකි ඩොමේන් නාම කිහිපයක්ම අත්හිටුවීමට ද බලධාරීන් ක්‍රියා කර තිබුණා.

Kickass Torrents වෙබ් අඩවිය වර්තමානයේ ලොව විශාලතම ටොරන්ට් හුවමාරු වෙබ් අඩවිය ලෙසට යි සැලකෙන්නේ.

මුදල් ගෙවා බාගත කරගත යුතු චිත්‍රපට, ගීත ඇල්බම සහ රූපවාහිනී කතාමාලා වැනි දෑ නොමිලේ බාගත කර ගැනීමට හැකි වීම හේතුවෙන් අන්තර්ජාල පරිශීලකයින් අතර ටොරන්ට් තාක්ෂණය බෙහෙවින් ජනප්‍රිය වුවත් අදාළ විත්‍රපට ආදිය නිර්මාණය කෙරෙන සමාගම්වලින් මෙම ක්‍රියාවලියට කාලයක් තිස්සේ එල්ල වූයේ දැඩි විරෝධයක්.

ටොරන්ට් හුවමාරු වෙබ් අඩවි හරහා බුද්ධිමය දේපල නීති ඉතා දරුණු ලෙස උල්ලංඝණය කෙරෙන බවට යි ඔවුන් හඬ නැගුවේ.

අන්තර්ජාල නිදහස පිළිබඳ හඬ නගන පිරිස එම සමාගම්වලට එරෙහිව හඬ නගන අයුරු ද දක්නට ලැබුණා.

Kickass Torrents නිර්මාතෘ ආටම් වවුලින් ද අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධිමය දේපල නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ යි.

කෙසේ වෙතත් Kickass Torrents වෙබ් ඩොමේන් නාම අත්හිටුවීමෙන් පසු ගතවූ පැය 24 ඇතුළත එම වෙබ් අඩවියේ පිටපත් අඩවියක් පිහිටුවීමට IsoHunt වෙබ් අඩවිය පියවර ගෙන තිබෙනවා.

IsoHunt වෙබ් අඩවිය ද ටොරන්ට් හුවමාරු කිරීමට යොදා ගැනෙන වෙබ් අඩවියක්වන අතර www.kickasstorrents.website යන වෙබ් ලිපිනය හරහා ඔවුන් පිහිටුවා ඇති Kickass Torrentsහි පිටපත් වෙබ් අඩවිය වෙත පිවිසීමට පුළුවන්.

Kickass Torrents තුළ පැවැති දත්ත ගොණු බොහොමයකට මේ හරහා පිවිසිය හැකි බවටයි මේවන විට ලැබෙන තොරතුරු සඳහන් කරන්නේ.

මෙම පිටපත් වෙබ් අඩවියට පිවිසුණු සැණින් විශේෂ පණිවිඩයක් තිරයේ දර්ශනයවන අතර එහි පැවසෙන්නේ Kickass Torrents නිර්මාතෘවරයා පෝලන්තයේ දී අත්අඩංගුවට ගත් බවත් මෙම සිදුවීම ගෝලීය අන්තර්ජාල පරිශීලක නිදහසට එල්ල වූ දැඩි ප්‍රහාරයක් බවත් ය.

එමෙන්ම මෙම අවස්ථාවේ දී පැත්තකට වී සිටීම තම කාර්යභාරය නොවන බවට ප්‍රකාශ කරන IsoHunt වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ අන්තර්ජාල නිදහස වෙනුවෙන් ප්‍රතිප්‍රහාරයකට තමන් සූදානම් බව යි.

ලොව පුරා විවිධ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් වෙද්දී, මිලියන ගණනක් ජනතාව කුසගින්නෙන් සහ වසංගතවලින් මියයද්දී, ටොරන්ට් හුවමාරුව පිළිබඳ මෙතරම් උනන්දු වී ලෝක බලධාරීන් ක්‍රියා කිරීම පිළිබඳව ඔවුන් ප්‍රශ්ණකොට සිටිනවා.

IsoHunt විසින් ස්ථාපිත කර ඇති Kickass Torrents පිටපත් වෙබ් අඩවියට පිවිසි විට දර්ශනයවන පණිවිඩය සහ එම වෙබ් අඩවිය පෙනෙන අයුරු > > >

Screenshot (557)

Screenshot (558)

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 July 2016 10:55