April 26, 2024

ICC සම්මාන උළෙලේ දී කෝලී විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන තුනම හිමි කර ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වුණා.

එහිදී කෝලි හිමි කර ගත්තේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයයි.

2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැක්වු දක්ෂතා පදනම් කර ගනිමින් මෙම සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමීමට නියමිතයි.

එහිදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය මෙන්ම වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයම  හිමි කර ගත්තේ ඉන්දීය නායක විරාත් කෝලි විසින්.

එක් සම්මාන උළෙලකදී මෙම ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගත් පළමු ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි වාර්තා අතරට එක් විය.

කෝලි 2018 වසර තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග 37කට සහභාගී වී ලකුණු 2735ක් රැස් කර ගෙන ඇත්තේ ශතක 11ක් සහ අර්ධ ශතක 9ක් සමඟින්.

මෙම දක්ෂතා පදනම් කර ගනිමින් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කල වසරේ එක්දින කණ්ඩායමේ සහ ටෙස්ට් කණ්ඩාය‍මේ නායකත්වයද පිරිනමා තිබේ.

වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නවද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර 2018 වසරේ විශිෂ්ටතම ක්‍රීකට් විනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනව නම් කර තිබෙනවා.

ඔහු මෙම සම්මානය හිමි කර ගත් දෙවන අවස්ථාව මෙයයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 January 2019 09:36