May 12, 2024

මෛත්‍රී සිරිකොතදී රහස් දෙකක් හෙළි කරයි (VIDEO)

එක්සත් ජාතික පක්‍ෂයේ 69 වැනි සංවත්සර සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් හෙළි නොවූ රහස් දෙකක් හෙළිදරව් කළේය.

පසුගිය නොවැම්බර් 22වැනිදා වන තෙක් තමා සහ රනිල් වික්‍රමසිංහ අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව ඉන් එක් රහසකි.

'නොවැම්බර් 22 වැනිදාට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක තත්පරයක් වත් හමූ වී සාකච්ඡා කර නැහැ, ඇමතිවරයෙක් ලෙස මම පාර්ලිමේන්තුවේ ඇමති ආසනයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා ඇසකින් සංඥාවක් දෙමින් “දැන් අපි යමු” කියල ඉඟියක් කරලයි එදා අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නිවසට ගියේ.’ ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළිය පිළිබඳව මෙතෙක් පැවති රහසක් ජනාධිපතිවරයා හෙළි කළේ මේ අයුරිනි.

‘මරදානෙ අවසාන රැස්වීමට ආරක්ෂක හේතුන් නිසා ගෙනියන්න බැහැ කියල ආරක්ෂකයන් මාව ගෙදර තියපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා ඇවිල්ලා මාව ඔහුගේ වාහනෙන් රැස්වීමට එක්කන් ගියා. මම රැස්වීමේ වේදිකාවට නග්ගලා එතුමා රැස්වීමේ ජනතාව අතරට ගිහිල්ලා වටයක් කැරකිලා නැවත වේදිකාවට ආවා. එතුමා එයින් පෙන්නුවේ ඔබට අපේ රැස්වීමේ අනතුරක් නැහැ, වගකීම මම බාර ගන්නව කියන එක’ ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සමුළුවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයෙකු ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

මෙහිදී සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අලුත් රටක් වෙනුවෙන් යන ගමනේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ තමන් "නින්ද නොයන රියදුරන්" සේ කටයුතු කරන බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 12:05