April 20, 2024

ලොකු වෙනසකට ජනපති සැරසෙයි

රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාවය සහ අඩු පාඩු මග හරවමින් එම කටයුතු වඩා විධිමත් කර, නව මුහුණුවරකින් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ වැඩසටහනක් ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහිදී ආයතනික ව්‍යූහයන් මෙන්ම තනතුරු ද වෙනස්වීම්වලට ලක්විය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේ ඊයේ (20) කොටුව ජනාධිපති මන්දිරයේදී රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප‍්‍රධානින්, කතුවරුන් හා අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවේදී ය.

ඇතැම් විවේචකයින් සහ රජයට විරුද්ධ දේශපාලනඥයින් පවසන ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයක් හෝ ගැටලුවක් අද රට හමුවේ නොමැති බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා අද ආණ්ඩුවක් ලෙස වත්මන් රජය ඉතා ශක්තිමත් ගමනක් යමින් රටේ ආර්ථිකය ගොඩනැංවීමට කැපවී සිටින බව කියා සිටියේය.

මාධ්‍ය ආයතනවලින් තමා ඉල්ලා සිටින්නේ රට තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරී අවස්ථාවලදී රජය ආරක්ෂා කිරීමට නොව රටේ ජනතාව වෙනුවෙන් සිතා සිය මාධ්‍ය මෙහෙවර ඉටු කරන ලෙස බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

වත්මන් රජය පසුගිය වසර දෙක හමාර තුළ රටේ ආර්ථිකය පිළිබඳ ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් අද දවස වන විට මෙරට විදේශ වත්කම් ඩොලර් බිලියන 05 කට වැඩි ඉහළ අගයක පවතින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ එම තත්ත්වය තවත් වර්ධනය වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මහා ආර්ථික අර්බුදයක් මවා ගනිමින්, සියල්ල අසුබවාදීව දකිමින් ආර්ථිකය කඩා වැටෙනවායැයි බලා සිටීමට කිසිවෙකුට අද සාධක නොමැති බව ද පැවසීය.

2016 වසරේ මෙරට කෘෂිකර්මාන්තයේ කඩාවැටීමක් පිළිබඳ අද දින එක්තරා ජාතික පුවත්පතක පිටුවක් පුරා පළවී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද දවසේ මෙරට තේවලට සහ රබර්වලට හොඳ මිලක් ලැබෙන අතර තේ, රබර් ඇතුළු අනෙකුත් කෘෂි භෝග ද ඇතුළත් වන්නේ කෘෂිකර්මාන්තයට නමුත් රටට සුබවාදී මෙම තත්ත්වයන් පිළිබඳ කිසිවෙකු ආර්ථික විග‍්‍රහයන් නොකිරීම කනගාටුවට කරුණක් බවත් ය.

කිසිදු රජයක් අත නොගැසූ ඖෂධ මිල පහත දැමීම ඇතුළු රටේ අහිංසක ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රැසක් ගත් බවත්, හෘද ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ නොමිලේ ලබාදීම, අක්ෂි කාච ජාවාරම නවතා දමා අක්ෂි කාච නොමිලේ ලබාදීම වැනි කි‍්‍රයාවන් පිළිබඳව ද කිසිවෙකු කථා නොකරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

වත්මන් රජය බලයට පත්වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය සේවක අර්ථසාධක වෙනුවෙන් රුපියල් බිලියන 12 ක මුදලක් ගෙවීමට තිබූ අතර ඒ පිළිබඳ පැවරී ඇති සියලු නඩු අවසන් කරමින් මේ වන විට රුපියල් බිලියන 06 ක මුදලක් ගෙවා තිබෙන බවත්, සෑම ආණ්ඩුවක්ම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් කරගත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් පිළිබඳ ගැටලු සියල්ල ද නිරාකරණය කර ගනිමින් අද එම ඉඩම් පිළිබඳ අයිතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති එක් ආයතනයකට පවරා තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති තීරුබදු නිදහස් වෙළෙඳසැල් තමන්ගේ හිතවතුන්ට පමණක් බෙදා දුන් යුගය අවසන් කර ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඒ සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කිරීම හේතුවෙන් සියයට 24 ක් ව තිබූ එහි ආදායම අද සියයට 40 දක්වා වර්ධනය කර ගැනීමට හැකිව තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ රටේ ඉතිහාසයේ දැවැන්තම රටට අවාසි සහගත ගිවිසුම සිදුවූයේ පෝ(ර්)ට් සිටි ව්‍යාපෘතිය තුළින් බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ අන්දමින් රටෙන් කොටසක් සින්නක්කරව පවරාදීම පිළිබඳ ගිවිසුමකට එහිදී අත්සන් කර තිබූ බවත්, චීනය සමග හොඳ හිත ද පවත්වාගෙන යමින් අවශ්‍ය වෙනස්කම්වලට එළැඹෙමින් බදු පදනම මත එම කටයුතු පවත්වාගෙන යාමට වත්මන් රජයට හැකිවූ බවත් කියා සිටියේය.

උතුරේ නැවත පදිංචි කිරීමේ කටයුතු සහ අතුරුදහන්වූවන් පිළිබඳ තිබෙන තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මේ වනවිට නැවත පදිංචිකිරීම් 60% ක් අවසන්ව පවතින බවත් ඉදිරි මාස 03 තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්ය. අතුරුදහන් වූවන් පිළිබඳ ඉල්ලීම් කරන අයට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මීට පෙර තිබූ කොමිෂන් වාර්තාවල නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් විශේෂ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විගණනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉටුවිය යුතු වගකීම් පසුගිය වසර කිහිපය තුළ නිසි ලෙස ඉටු වී නොමැති අතර එම කටයුතු විධිමත් කරමින් සියලු අමාත්‍යාංශවල විගණන වාර්තා විමර්ශනය වෙනුවෙන් අදාළ ඇමතිවරුන් සහ නිලධාරින් සමග ලබන මැයි මාසයේ සිට තම සෘජු මැදිහත්වීම ඇතිව නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අදාළ සියලු නිලධාරින්ට තමා උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ප‍්‍රමුඛ කාර්යයක් සේම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ද රට තුළ පැවතිය යුතුය යන්න රජයේ ප‍්‍රතිපත්තිය බව මෙහිදි සඳහන් කළ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට කිසිදු හානියක් නොවන අයුරින් සයිටම් ආයතනය පිළිබඳ රජය තීන්දු තීරණ ගෙන තිබෙන බව ද සඳහන් කළේය.

මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව මතුව ඇති තත්ත්වයේ වගකීම, ඒ පිළිබඳ නීතිමය බලය සහ අයිතිය ඇති සියලු ආයතනවලට පැවරෙන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ආයතනික බලය පිළිබඳ පවතින කඹ ඇදීම මෙම ඛේදවාචකයට හේතු වූ බවත් දැනට පවතින වැඩපිළිවෙළට අමතරව මෙම තත්ත්වය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා මාසයක් තුළ වාර්තා කිරීම වෙනුවෙන් විශ‍්‍රාමික විනිසුරුවරයෙක්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ලබන සතියේ කටයුතු කරන බව ද සඳහන් කළේය.

කවුරුන් කුමන ව්වේචන සිදු කළ ද අද රටේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂමව හා සාර්ථකව ඉදිරියට ගමන් කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය සමාලෝචනය කෙරෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම්වල සහ ප‍්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා මැති ඇමතිවරු දින ලබා නොදීම හේතුවෙන් සිදුවූ ප‍්‍රමාදයන් වළක්වමින් ඒ සඳහා වාර්ෂික දින ඇතුළත් චක‍්‍ර ලේඛයක් අදාළ සියලු මැති ඇමතිවරුන් සහ නිලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද මෙහිදී පැවසීය.

Rate this item
(0 votes)