May 01, 2024

"ජනපති මෛතී‍්‍ර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආදර්ශයක්" - අන්තර් පාර්ලිමේන්තු සංගමය

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල අඩුකර එම බලතල පාර්ලිමේන්තුවට පැවරූ ආකාරය ලොව පුරා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහඟු ආදර්ශයක් බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති Saber Chowdhury මහතා පවසයි.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ තුළින් ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්වී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ලොව ඇතැම් රටවල විධායක ජනාධිපතිවරු පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කරන අතර තවත් ඇතැමුන් සිය බලතල සහ ධූර කාලය ජනමත විචාරණ මගින් දීර්ඝ කර ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා අද ශී‍්‍ර ලංකාව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට නිසි මග පෙන්වන ආලෝකයක් ලෙස පෙන්වාදිය හැකි බවද කියා සිටියේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා පිළිගනිමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ තරුණ සහ කාන්තා සහභාගිත්වය වැඩිදියුණු කිරීමට අන්තර් පාර්ලිමේන්තු සංගමය ගන්නා ප‍්‍රයත්නය පිළිබඳ තම සතුට පළ කළේය.

ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම සඳහා මැතිවරණ නීති සම්පාදනය කරමින් පවතින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලොව ජනගහනයෙන් සියයට 50ක් පමණ වයස අවුරුදු 30 ට වඩා අඩු නමුත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් වයස අවුරුදු 30 ට අඩු සංඛ්‍යාව සියයට 1.9 ක් පමණක් යැයි පෙන්වා දුන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා මෙම තත්ත්වය නංවාලීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

උගත් තරුණයින් වැඩි වැඩියෙන් රජයේ සහ පාර්ලිමේන්තුවේ වගකීම් දැරිය යුතු බව තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 April 2017 11:41