May 02, 2024
Main

Main (651)

වැලි හා පස් ප්‍රවාහනයට තිබූ බලපත්‍ර අහෝසි කිරීම මගින් පරිසර හානියක් සිදුනොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නා හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පසුව රුවන්වැලි සෑ මහා රදුන්  වැඳ පුදා ගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි  පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුව මිරිසවැටිය චෛත්‍යය වැඳපුදා ගත්තේය.

පසුව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට පැමිණ විහාරාධිපති නුගේ තැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ පැවසීය.

“අද වන විට වැට් බදු අඩුකිරීම තුළින් ව්‍යාපාරිකයන්ට සහන රැසක් ලැබී තිබෙනවා. කුළු බඩු වර්ග ආනයනය හා ප්‍රතිඅපනයනය නතර කිරීම තුළින් මේ වන විට මෙරට  ගම්මිරිස් ඇතුළු කුළු බඩු ගොවියාට හොඳ මිලක් ලැබී තිබෙනවා. විශේෂයෙන්  කිව යුතුයි  වැලි හා පස් කැණීම් අවසර ලබා දී නැහැ. ඒ සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් රට පුරා ප්‍රචාරයක් යමින් තිබෙනවා. වැලි හා පස් ප්‍රවාහනයට පමණයි තහනම ඉවත් කර තිබෙන්නේ, ඒවා ප්‍රවාහනයට අවසර ලබා දීම තුළින් ප්‍රවාහන ගාස්තු  අඩු වූ පසුව ඒවායේ  මිල අඩු වෙනවා. මේ ප්‍රදේශ වලින් විසි දහසට ගත්ත වැලි, පිට ප්‍රදේශවල රුපියල් හැට හතර දහසකට විකුණනවා. දැන් එය තිස් දහස් ගණනකට අඩු වෙලා තිබෙනවා. ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරා කියලා පරිසර හානියක් සිදු වන්නේ නෑ.”

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පමණක් වුවද මැතිවරණයෙන් පසු ඡන්දය දුන් නොදුන් සියලු ජන කොටස් වත්මන් දේශපාලන ප්‍රවාහයට එක්කර ගත යුතු බව අධිකරණ ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හාලිඇල කාර්යාලය විවෘත කිරීමේ උත්සවය එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මැතිවරණයෙන් පසු පරාජය වූවන් කොන් නොකර ඡන්දය දුන් නොදුන් සියලු ජන කොටස් වත්මන් දේශපාලන ප්‍රවාහයට එක්කර ගනිමින් සහයෝගයෙන් කටයුතු කරන ලෙස තමන් සියලුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙන් අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

තමන්ව ඉලක්ක කරගනිමින් තමන් නොකරන ලද ක්‍රියා සම්බන්දයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සුබ පැතුම්ද එක් කර ඇත.

මන්ත්‍රීවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වු කරුණු පහත සඳහන් වේ.,

" පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා ත්‍රස්තවාදී සහරාන් සමග සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ. 

එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කල චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් විමර්ෂණය කළ අතර පොලීසිය මගින් කල පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් ගරු කථානායකතුමා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි. 

එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි. 

එකාමෙන් සමගියෙන්  ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි. 

තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.

 1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සදහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි. 

වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය.

 එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සදහා කටයුතු කරන ලදි. 

මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි. 

කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව අසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ  හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන් සමග මා සම්බන්ද යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්දයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවරැදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්දව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි. "

රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“2016 පෙබරවාරි 28 දා රාත්‍රී 9.30ට පමණ අපේ අමාත්‍යාංශයේ වාහනයක යතුරු පැදියක් ගැටීමෙන් මේ අනතුර සිදුවුණා. ඒ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි අපගේ රියදුරා බියට පත්වෙලා ගියා. මේ අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණ කණ්ඩායමක් ඔහු අල්ලාගෙන පහර දෙන්න හදන විට ඔහු බොරැල්ල පොලීසියට ගියා. ඔහු මේක වාර්තා කළා. යතුරු පැදිවලින් පැමිණි අය සාක්ෂි ලබාදී තිබුණා. පදින්න තනම් 1000 සීසී අධිවෙීගී මෝටර් සයිකල් හතරක නැගිලා අධික වේගයෙන් පාර්ලිමේන්තු පිටිටයට ආවා. මේ ගැන උසාවියට කරපු ප්‍රකාශ වල දැක්වී තිබෙනවා. මේ අවස්ථාවේදී අපගේ වාහනය සරණ පාරට හරවන විට එක් යතුරු පැදියක ගැටුණා. ඒ යතුරු පැදිය පදවාගෙන ආපු තරුණයා තමයි තුවාල ලැබුවේ. පසුපස ආපු තරුණයට මොකවත් වුණේ නෑ. ඒ ඇතැම් අය මත්පැන් පානය කරලා හිටපු නිසා පොලීසියට යන්නත් බැරිවුණා. නමුත් පොලීසියට ගිහින් කිව්වා මේ හිටියේ චම්පික රණවක මහතාගේ රියදුරා කියලා. මින් දින 6කට පස්සේ තරුණයන් දෙන්නෙක් සම්බන්ධ කර ගත්තා කූඨ ව්‍යාපාරිකයෙක්. මේ ගැන සම්පූර්ණ දුරකතන දත්ත අපි ළඟ තිබුණා. ඔවුන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළා. අපි පරීක්ෂණවලට ඉඩ දුන්නා. පොලීසිය පරීක්ෂණයක් කළා. විශේෂ විමර්ශනයකුත් කළා. දුරකතන දත්තවලින් ඔප්පු වුණේ මම නිවසේ සිටි බවයි.ඒ දරුවා ගැන මම කනගාටුවෙනවා.”

“සාර්ථක දැක්මක් - වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහනගර සභාවේ නගරාධිපති නිල කාමරයේ ඊයේ (03) දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේය.

“බහුතර ජනතාවගේ කැමැත්ත අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වුණා. වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන තිබුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරිමට යුධ හමුදාව ප්‍රමුඛ ඒ සියලු දෙනාට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ දේවල් සිදු කළා. වර්තමානයේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා රජයක් ලෙස ගෙන යන වැඩපිළෙවලට අපේ උපරිම සහාය ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ මාතලේ නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ඇති බවට මා විශ්වාස කරනවා. මාතලේ නගරයේ මේ වන විට බස් නැවතුම්පොළවලින් නැවත අයථා විදිහට මුදල් එකතු කිරිමේ කටයුතු සිදු වෙනවා. නගරාධිපතිධුරයට පත් වුවාට පසුව මම මේ සියල්ල නවතලා තිබුණේ. අපි ක්‍රමවත් ලෙස මාර්ග තදබදය අවම කිරිම සදහා වැඩකටයුතු සිදු කළා. නමුත් වාහන නැවතිමේ තහනම් ස්ථානවල මේ වන විට වාහන නවත්වා තියනවා. විශේෂයෙන් ධර්මපාල මාවත වැනි විදිවල මේ තත්ත්වය තියනවා. නගරයක් ලෙස සංවර්ධන කටයුතු සිදු කරගෙන යන විට විවිධ අය කකුලෙන් අදිනවා. මේ පිළිබඳව මා අභිනව මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා වෙත දැන්වුවා. නගර සභා සේවකයින්ට මේ වන විට ඇතැම් මැර කණ්ඩායම් විසින් පහරදිමට පටන්ගෙන තියනවා. විශේෂයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදු කළ සේවකයින් වෙත පහරකැමට ලක්ව තියෙනවා. පොලීසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. රටේ සියලු දෙනාට එක නීතියක් බවට පත් කළ යුතුයි. පසුගියදා මා හට මරණිය තර්ජන එල්ල කළ පිරිසක් විසින් ප්‍රසිද්ධියේ මේ පිළිබඳව මා පොලීසියට පැමිණිලි සිදු කළා. නමුත් තාම පරික්ෂණ පැවැත්වෙන්නේ මන්දගාමි ලෙසයි. අපි සාමකාමි ලෙස මේ නගරයේ මැතිවරණ කටයුතු පැවැත්වුවා. නමුත් මැතිවරණයෙන් පස්සේ නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයකට මුහුණ දිමට සිදුව ඇත."

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනා ගැන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරන්නේ යැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පුවත්පතකට  පවසා ඇත.

මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය හා තවත් කරුණු රැසක් ගැන කොමිසම කළ මැදිහත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යට කර ඇති ප්‍රකාශ බරපතල යැයි ද ආශු මාරසිංහ මහතා කීවේය.

මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් බැවින් මෙම චෝදනා ගැන පියවරක් ගතයුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් යැයි ද එය ඉතා සංවේදී විෂයක් යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා අවධාරණය කර කීය.

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවටත් ඒ වෙනුවට තමන් ගැන ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට දැනුම් දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ජීවිතය අනතුරේ හෙලූ බවටත් බී.බී.සී සිංහල සේවයට හා ඬේලි මිරර් පුවත්පතට මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශන ක්‍රියාවලියේ ඇතැම් කාරණා ගැන ද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කොමිසම ගැන විවේචනයක් ඇතැයි මාරසිංහ මහතා කීය.

මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ වාර්තා රහස්‍ය නොවන්නේ නම් ඒවා ඩිජිටල් දත්ත හැටියට ලබා දිය හැකි යැයි ද එමගින් රජයට මුදල් ඉතිරි කරගත හැකි යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වීම් දී රට පුරා සේවයේ යෙදුණු 2273 ක් ස්ථිර කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් එජාප පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ (28) ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

මේ පිරිසට කළමනාකරණ තනතුරේ සිට ඊට පහල තනතුරු දක්වා කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දී තිබූ අතර ඔවුන් දින 180ක් සේවයේ යෙදවීමේ පදනම මත සේවය ස්ථිර කරන ලෙස වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් කර තිබූ ඉල්ලීම වේ.

මෙම 2273 ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක් වන අතර වෙදආරච්චි මහතා මෙම ඉල්ලීමෙන් පිටපතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද  යවා තිබේ.

අප මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විමසීමක් කළ අතර එවැනි ලිපියක් ලැබී ඇති බව එහිදී තහවුරු කරන ලදී.

වාහන , ගමන් බිමන් , ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය නොවන සහ ප්‍රමුඛ නොවන වියදම් කපා හරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යාංශවලින් සහ නියෝජිත ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඊයේ (27) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.

භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු අඩුවීමට ඉඩ ඇති බැවින් රාජ්‍ය නියෝජිත ආයතන සහ රජයට අයත් ව්‍යවසායන් මගින් කෙරෙන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් ද පහත මට්ටමක පවත්වා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රජයේ ආදායම යළි සකස් කර ගැනීමට යම් කාලයක් ගතවන බැවින් රජයේ මුදල් වැය කිරීමේදී  සිරුවෙන් කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීම අවශ්‍ය බවත්, වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට ආණ්ඩුවට වසරකට වඩා කල් නොදෙන බව ත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

යළි වැරදුණ හොත් රට ගොඩ ගැනීමට නොහැකි වන බව ද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

තවද ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ අදහස් පළ කරමින් උන්වහන්සේ පැවසුවේ, ජාත්‍යන්තර ගිවිසුම්වලින් රට බරපතළ ලෙස තරජනයකට ලක් කර ඇති බවත් ඒවා ඉතා සුපරීක්ෂාකාරීව, සංයමයකින් එකී ගිවිසුම් සාදාරණත්වයට හරවා ගැනීමට අවශ්‍යව ඇති බවත් ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා පුවත්පතකට පවසා ඇත.

තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ  මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කර ඇත.

තමන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමේ අරමුණින් පක්ෂය මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදීත්  ඒ වෙනුවෙන් ක‍්‍රියා නොකළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට පෙර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

තමන් වසර 44ක් තිස්සේ සාමාජික අරමුදල් ගෙවමින් පක්ෂ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පැවසීය.