May 07, 2024

ජවිපෙ ප්‍රබලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් ඇති බව වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය  නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොහොර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එය සෞඛ්‍ය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයින් 5 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (03) වැලිමඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

කෙසේවෙතත් පොලීසිය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ උද්ඝෝෂණය සංවිධානය කිරීමට අදාළව සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව පවතින බවයි.

ඊට අදාළව නොතීසි නිකුත් කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේවෙතත් මෙහිදී අධිකරණය දන්වා ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Rate this item
(0 votes)