පසුගිය ආණ්ඩුවේ අවසාන කාලයේ රු.කෝටි 280 (රු. ලක්ෂ 28000) වැය කොට ගෙන එන ලද වාහන වලට මොකද වුණේ යයි කෝටි හතරක පහක වාහනයක් නොමැතිව ජනතාවට සේවය කළ නොහැකි බව පවසන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඇසීමට තමන් කැමති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනවා.
යහපාලන ආණ්ඩුව අවසාන කාලයේ මෙම මුදල වැය කොට වාහන 78 ක් ගෙන ආ බවත් ඒවාද කෝටි හතර පහේ වාහන බවයි වෛද්‍ය ජයතිස්ස හෙළිදරව් කරන්නේ.
ඇමතිවරු මාරුවන විට වාහනෙත් අරන් යනවද
මෙම වාහන ගෙන එන ලද්දේ එම ආණ්ඩුවේ සිටී ඇමතිවරු , රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සඳහා බව පෙන්වා දෙන වෛද්‍ය ජයතිස්ස ඇමතිවරු මාරුවන විට පාවිච්චි කළ වාහනය ගෙදර ගෙන යෑමේ නීතියක් රටේ නැති බවද සඳහන් කරනවා.
මේවා අමාත්‍යංශවල තිබෙන වාහන වන අතර එම වාහන තිබෙන තැන් සොයා ගන්නා ලෙස තමා 2020 පෙබරවාරි 13 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද වෛද්‍ය ජයතිස්ස හෙළිදරව් කරනවා.
වසර දෙකක්වත් පාවිච්චි නොකළ නවීන වාහන
මෙම වාහන වසර දෙකක්වත් පාවිච්චි නොකල ඉතා නවීන වාහන වන බැවින් අලුතෙන් වාහන ඉල්ලන්නෙ නැතුව එම වාහන ඇමතිවරුන්ට පාවිච්චි කළ හැකි බව වෛද්‍ය ජයතිස්ස පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම තමන්ට මහජනතාව වෙනුවෙන් රාජකාරී කිරීමට හරි හරිහැටි වාහනයක් නැති බවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රසිද්ධියේම කර තිබෙන ප්‍රකාශයද මතක් කරමින්.
ගොඩහේවාගේ වාහනෙත් ඒ ගොඩේ ඇති
නාලක ගොඩහේවා මහතා අමාත්‍යධූරය දරන අමාත්‍යාංශයේ කලින් සිටි ඇමතිවරුන් පාවිච්චි කළ වාහන පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටින වෛද්‍ය ජයතිස්ස මහජන බදු මුදල් මෙසේ නිකරුනේ නාස්ති නොකොට එම මුදල් රටේ ජනතාවට මේ වෙලාවේ අත්‍යවශ්‍යම කරන එන්නත් ගෙන ඒමට යොදා ගන්නා ලෙසයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.
රුපියල් කෝටි 350 ක් වැය කොට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට වාහන 227ක් ගෙන්වන බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාටද පිළිගැනීමට සිදු වූ බවද වෛද්‍ය ජයතිස්ස පෙන්වා දෙනවා.
වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කලුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයාය.