May 09, 2024

හිතුමතේට ජනතාවට එන්නත් දෙන්න එපා: ජීවිත අනතුරේ - ජවිපෙ ආණ්ඩුවට අනතුරු අඟවයි

"රටේ ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කරන්න එපා.මෙවැනි ගෝලීය වසංගතයදී රටේ ආණ්ඩුව කළ යුත්තේ ලෝකයේ පිළිගත් ඉහළම එන්නත ජනතාවට ලබාදීමයි. ඇමතිවරුන්ගේ උද්දච්චකමට රටේ ජනතාවගේ ජීවිත පලි නැහැ" යයි ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන වෛද්‍ය ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකල එන්නත ලබාදීමට ආණ්ඩුව තීරණය කළහොත් එය බරපතළ තත්ත්වයක් වනු ඇති බවය.

"කෝවිඩ් වසංගතය සඳහා ලෝකයේ දැනට සොයාගෙන තිබෙන එකම විසඳුම එන්නත්කරණයයි. එය කොවිඩ් වසංගතය සහ ඒ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පාලනය කිරීමට වඩාත් යෝග්‍ය විසඳුම එන්නත බව වෛද්‍යවරයෙකුද වන ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අදාල එන්නත නිෂ්පාදනය කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදුකළ යුතු බව පෙන්වා දෙන ජයතිස්ස මහතා එය සංකීර්ණ සහ දීර්ඝකාලීන ක්‍රියාවලියක් බවද සඳහන් කරයි.

"ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් මුලින්ම සායනික ක්‍රියාවලියකට ලක් කළ යුතුයි. පරීක්ෂණාගාර වල සිදුවන පූර්ණ සායනික ක්‍රියාවලිය සාර්ථක වූවොත් පමණයි එම එන්නත හෝ ඖෂධය මනුෂ්‍යයා වෙනුවෙන් භාවිතා කරන්නේ. ඒ සඳහා අදියර ලෙස 1,2,3 ලෙස පියවර ගණනාවක් පසු කළ යුතුව තිබෙනවා. ඒ වගේම ලෝකයේ පිළිගත් ආයතනයකින් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබා ගත යුතුව තිබෙනවා. එම සහතිකයෙන් පසුවද මිනිස්සුන්ට එන්නත ලබාදීමෙන් වෙනත් අතුරු ආබාධ ඇතිවේදැයි සොයා බැලිය යුතුයි " යැයිද ජයතිස්ස මහතා හෙළිදරව් කරයි.

නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් හෙළි කරන ලද්දේ කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පැන නැගී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

ලෝකය අනුමත නොකරන ලද මෙන්ම අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකරන ලද එන්නත් භාවිතය සඳහා ආණ්ඩුව පියවර ගතහොත් ඉන් සිදුවන සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක් තිබෙන බවට ජයතිස්ස මහතා අනතුරු අඟවයි.

කෙටිකාලීන කොවිඩ් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවිය හැකි අතර දීර්ඝ කාලීනව අපේ රටේ එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වන්නට හැකි බවට ජයතිස්ස මහතා අනතුරු අඟවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 15:27