May 19, 2024

ලංවිමට උසාවියෙන් අතුරු තහනමක්

කැළණි ගඟ හරස්කර මෙගාවොට් 150 විදුලිය උත්පාදනය කිරීමේ අපේක්ෂාවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගිනිගත්හේන පොල්පිටියේ ආරම්භ කර ඇති බෝර්ඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ආචාර්ය කමල් ලක්සිරි මහතාට සහ එම ව්‍යාපෘතිය කොන්ත්‍රාත්තුව ඇති  චින සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයාට එරෙහිව හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා ඊයේ (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ප්‍රමිතියෙන් තොර ගල් බෝර දැමිම නිසා එම ව්‍යාපෘතියේ ඉදිකිරිම් සිදුකිරිමේදී තමන්ට දැඩි හිරිහැර සිදුවන බවට පොල්පිටිය වැසියන් ගිනිගත්හේන පොලිසියට කරන ලද  පැමිණිලි ගණනාවක් මත මහජන පිඩා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණු අතර පැමිණිල්ලේ නීතිඥයන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සහ පැමිණිල්ලේ සාක්කි සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම අතුරු තහනම පනවා තිබේ.

මින් ඉදිරියට එම ව්‍යාපෘතියේ ගල් බෝර දමා පිපිරිම් කිරිමේ දී පුර්ව දැනුම්දීම් සිදු කරන ලෙසත් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරියකුගේ අධික්‍ෂණය යටතේ එය සිදුකරන ලෙසත් නියෝග කරමින් මෙම අතුරු තහනම නිකුත් කර ඇත.

මහේස්ත්‍රාත්වරයා නඩුව මැයි 2 වැනි දිනට කල් තැබූ අතර වගඋත්තරකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසත් මෙම කොන්දේසි සහිත ආඥාව අවලංගු කර ගැනිම හෝ වෙනස් කර ගැනිම පිණිස කරුණු දැක්විමට අවශ්‍ය නම්  එදිනට එකි කරුණු ඉදිරිපත් කරන ලෙසත් වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේය.

Rate this item
(0 votes)