May 09, 2024

ඇමැති මණ්‌ඩලය දිවුරුම්දීම නැවතත් කල් යයි - නව පාර්ලිමේන්තුවේ එක්‌ දින විවාදයක්‌  

එක්‌සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය එක්‌ව පිහිටුවීමට නියමිත ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය සැප්තැම්බර් මස 02 දා දිවුරුම් දෙන බවට ප්‍රකාශ කළ ද එය නැවතත් එම මස 04 වැනිදාට කල් දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට පෙර ආණ්‌ඩුව සහ ඇමැති මණ්‌ඩලය සම්බන්ධව එක්‌ දිනක පාර්ලිමේන්තු විවාදයක්‌ අවශ්‍ය බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් එම විවාදය ලබන 03 වැනිදා පවත්වා ඊට පසුදා නව ඇමැති මණ්‌ඩලය දිවුරුම්දීමට නියමිතය.

නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස 01 වැනි දා රැස්‌වීමට නියමිත අතර එදින කථානායක, නියෝජ්‍ය කථානායක ඇතුළු සෙසු තනතුරු සඳහා සම්මුතියෙන් යුතුව මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව රටේ ඉදිරි සැලසුම් සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක්‌ කළ පසුව පාර්ලිමේන්තුව 03 දා දක්‌වා කල් දැමීමට නියමිතයි.

ඉන් පසුව 03 වැනි දා මේ විවාදය පවත්වා ඊට පසුදින එනම් 04 වැනි දා නව අමාත්‍ය මණ්‌ඩලය ජනාධිපතිවරයා ඉදිරිපිට දී දිවුරුම් දෙයි. නව අමාත්‍යාංශයන්ට අදාල විෂයන් දින 08 ක්‌ ඇතුළත ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ මහ සමුළුව 02 වැනි දා පැවැත්වීමත් එය මෙවර පොළොන්නරුවේ පැවැත්වීමත් හේතුවෙනුත් අමාත්‍ය මණ්‌ඩලයේ දිවුරුම් දීම 04 වැනි දා දක්‌වා කල් දැමීමට තවත් හේතුවක්‌ බව වාර්තා වේ.

කැබිනට්‌ මණ්‌ඩලය පත් කිරීම දිගින් දිගටම කල් යන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය ප්‍රබල ඇමැතිධුර ඉල්ලා සිටීම බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Rate this item
(0 votes)