May 09, 2024

'පළාත් පාලන මැතිවරණයේ ඡන්ද වැඩ විහාරස්ථානවල' - සිංහල රාවයෙන් අභියෝගයක් 

යහපාලන ආණ්ඩුව දැන් රට ජාතිය වෙනුවෙන් හඬ නගන අය දඩයම් කිරීමට පටන් ගෙන ඇති බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (27) දෙහිවල පැවති මාධ්‍ය හමුවක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදන්ත හිමියන්,  

"මම බොදුජන පෙරමුණින් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ අවස්ථාවේ අනවසර රැස්වීමක් පැවැත්වුවා කියලා ඉකුත් 25 වැනි දා වැලිපැන්න මාගේ විහාරයට පොලිස් ජීප් 05 ක් වට කර පොලිස් නිලධාරීන් 50 ක් ඇවිත් කිසිදු හේතුවක් නොමැති ව බෝරු චෝදනා දාලා මාව අත්අඩංගුවට ගත්තා. වෙලේ සුදා අත්අඩංගුවට ගන්නවත් මේච්චර පොලිස් නිලධාරීන් එන්නේ නැතුව ඇති.

පෙරේදා මාව අත්අඩංගුවට අරගෙන මතුගම අධිකරණයට ඉදිරිපත් කළා. මට අධිකරණයෙන් ඇප ලැබුණා. යහපාලනය වැඩ ආරම්භ කරලා. මේවා තමයි පලි ගැනීම් කියන්නේ. වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හැසිරුණේ කැත විදිහට. අපිට සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් කතා කරන්න මේ වෙනුවෙන් හඬක් නගන්න අයිතියක් නැද්ද කියලා අපි ඔය යහපාලන ඇත්තන්ගෙන් අහනවා."

“සිංහල ජාතියට හෙන ගැහුවත් යහපාලන කාරයින්ට වැඩක් නැහැ. ඒත් අපේ ජාතිය විනාශ වෙනවා බලන් ඉන්න අපිට බැහැ. මොන බලවේග දියත් කළත් ඒවායින් අපි රට ජාතිය වෙනුවෙන් කරන දේවල් නවත්වන්න යහපාලන කාරයින්ට හැකිවෙන්නේ නෑ. හැබැයි දෙසැම්බර්වල පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද වැඩ අපි කරන්නේ විහාරස්ථානවල. පුළුවන් නම් නවත්වන්න කියලා අපි මැතිවරණ කොමසාරිස්ට අභියෝග කරනවා.“ යනුවෙන් ද උන්වහන්සේ සඳහන් කළහ.

Rate this item
(0 votes)