May 20, 2024

'එතුමාට වෙච්ච දේ කියන්න ලැජ්ජයි' - සුසිල්ගේ ඉල්ලා අස්වීම ගැන දිනේෂ් කතා කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපතිවරයාවන තමාට ද නොදන්වා එහි හිටපු මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉල්ලා අස් වී ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) තුම්මුල්ල පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති මහජන එක්සත් පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ගුණවර්ධන මහතා,

"ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති දින පස්වරු 03.30 ටත්, මට ලේකම්තුමා කිව්වෙ ඔබලාගෙන් අහන්නැතිව කිසි දෙයක් කරන්නෙ නෑ කියලයි. ඊට පස්සෙ එතුමා ගැන කිසිම තොරතුරක් නැහැ. මහජනයා පත් කරපු මහජන නියෝජිතයෙක් පක්ෂයේ මහලේකම් විදියට වගකීමක් දරද්දි එදා වැරැද්දක් වුණු බව අද පිළි ගන්නවා නම් ඒ මොහොතේම මැතිවරණ කොමසාරිස්වරයාට ඉල්ලා අස්වීම දෙන්න තිබුණා. එහෙමයි දේශපාලන ක්ෂේත්‍රයේ වගකීමක් තියෙන මිනිස්සු හැසිරෙන්නෙ. මහජනයා දුන්නු ඡන්දෙත් එක්ක දේශපාලන සෙල්ලම් කරන්න දෙන්න බෑ.“

“සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට වඩා දේශපාලන භූමියේ අවුරුදු 40 ක් පොල්ගාල තියෙනවා. රට පුංචි ළමයින්ගෙන් සමන්විතයි කියලා එතුමා හිතනවා නම් බොහොම කනගාටුයි. එතුමාට වෙච්ච දේ කියන්න ලැජ්ජයි. එතුමාගේ ඉතුරු වෙලා තියෙන ගෞරවය තියාගන්න ඕන හින්දයි මම එහෙම දෙයක් නොකරන්නෙ. ජාතික ලැයිස්තුවට අත්සන් යොදද්දි හිතට එකඟ නැත්නම් එවලේම ඉල්ලා අස්වීම දෙන්න තිබුණා. එතුමා වෘත්තිය වශයෙන් නීතිඥවරයෙක්. එතුමා දේශපාලනික වශයෙන් සන්ධානයට මහා විනාශයක් සිදු කළා.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)