April 27, 2024

ආර්ථික සහයෝගීතාව වර්ධනයට ප්‍රමුඛත්වයක් - ඇමති මංගල

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සමීප ආර්ථික සහයෝගීතාවක් වර්ධනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද (25) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමිනි.

මංගල සමරවීර මහතා නිකුත් කළ එම ප්‍රකාශයේ මෙසේ ද දැක්වේ.

"ජනාධිපති සිරිසේන මහතා මැතිවරණයෙන් තේරී පත්වීම හා මා විදේශ කටයුතු අමාත්‍ය ලෙස පත්වීම් ලැබීමත් සමග ජනවාරි මාසයේ ආරම්භ කළ සංවාද එලෙසෙම මෙහි දී ක්‍රියාත්මක කරන ලදී.  

අපගේ පෙර රැස්වීම් අතරතුර දී හා මාගේ වොෂින්ටන් සංචාරයෙන් අනතුරුව බහු මුහුණුවරකින් සමන්විත ද්වී පාර්ශ්වික සම්බන්ධතා නැවත ගොඩගැනීමට අපි එකඟ වූහ.

දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගත හැකි නව ක්ෂේත්‍ර කිහිපයක් ලේකම් කෙරීගේ සාර්ථක මාර්තු සංචාරයේ දී හඳුනා ගන්නා ලදී. අද දින පැවති සාකච්ඡා එහි පසු විපරමක්වන අතර මෙමගින් වඩාත් සමීප හා ප්‍රත්‍යක්ෂ සම්බන්ධතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරුණි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් රජයේ සමස්ත අරමුණු වූ යහපාලනය, මානව හිමිකම්වලට ගරු කරන හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ හා නීතියේ පාලනය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන පියවර ගැන ද සාකච්ඡා කරන ලදී.  

අප රට වඩාත් නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පසු දේශපාලන වශයෙන් ස්ථාවර වී ඇත. එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ නිශ්චිත පොරොන්දුවකට අනුව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මතු වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා ගනු ලැබූ ස්වාධීන දේශීය යාන්ත්‍රණය පිළිබඳවත් දැනුවත් කරන ලදී.

දෙරටේ සමීප ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දීමට තීරණය කළෙමු. ශ්‍රී ලංකාවේ විශාලම තනි අපනයන වෙළෙඳපොලවන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. අපගේ මුළු අපනයන ප්‍රමාණයෙන් 23% ඇතුළු වන්නේ අමෙරිකානු වෙළදපොලට වේ. එනිසා අපගේ වෙළෙඳ හා ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීමටත් අමෙරිකානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ ඇති නව ආර්ථික අවස්ථාවලින් වාසි ලබා ගැනීමටත් අවකාශ සැළසිය යුතු ය. 

ඉදිරියටත් මෙවැනි ඉහල පෙළේ හමුවීම් තුළින් ශ්‍රී ලංකා අමෙරිකානු සබඳතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙමු.

තවද මා සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා ප්‍රමුඛ දූත මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සුහද හා ප්‍රසන්න සංචාරයක් ගත කිරීමට හැකිවන ලෙස සුභපතා සිටිමි." යනුවෙන් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)