April 30, 2024

දෙමළ සන්ධාන ජාතික ලැයිස්තුව ගැන සුරේෂ්ගෙන් දොස්මුරයක්

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්කිරීමේ දී ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වුවමනාවට හා ඔවුන්ගේ කැමැත්තට පමණක් සීමා වී එය සිදු කිරීම තමන් අනුමත නොකරන බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

මහ මැතිවරණයට පෙර පක්ෂය විසින් පවත්වන ලද සාකච්ඡාවල දී තීරණය කරන ලද්දේ පක්ෂයේ විශේෂ සාකච්ඡාවකින් පසුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කළ යුතු බවට වුව ද කිසිදු සාකච්ඡාවකින් තොරව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට වුවමනා අන්දමට මන්ත්‍රීවරුන් පත් කර ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා එය දෙමළ ජාතික සන්ධානයේ පොදු එකඟතාවය නොවන බවද අවධාරණය කළේ ය.

තමන් මෙවර මහ මැතිවරණයෙන් පරාජය වුවත් තවමත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායකයා තමන් බැවින් මේ පිළිබඳ තමන්ගෙන් ද විමසීමට සදාචාරාත්මක අයිතියක් තිබුණු බව ද ඔහු සඳහන් කළේ ය.

දෙමළ ජාතික සන්ධානය විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ කේ.තුරෙයිසිංහම් හා ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සමග තමන්ගේ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති වුව ද ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායකයා වශයෙන් තමන් ඊට අකැමති බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැඩිදුරටත් කියා සිටියේ ය.

වවුනියාව - දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)