May 08, 2024

හේරත් නොමැති නිසා ලංකාව අවදානමක

December 20, 2014
නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය සඳහා ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ සහාය නොමැතිව තරග කිරීමේ අවදානමකට ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විටත් මුහුණ දී තිබේ.
එංගලන්තය සමග පැවැති එක්‌දින තරගාවලියේ පස්‌වැනි තරගයට පෙර පැවැති පුහුණු සැසියකදී හේරත් වම් කළවයේ නහර ඇදීමේ ආබාධයකට මුහුණදී තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇත. 
 
හේරත්ගේ ආබාධිත තත්ත්වය ඉක්‌මනින්ම සුව අතට පත්වනු ඇතැයි කණ්‌ඩායම් කළමනාකාරීත්වය විශ්වාසය තබා තිබුණද එය සුව වීම සඳහා සති 3 ක පමණ කාලයක්‌ ගතවනු ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි.
 
කෙසේ වෙතත් තම පෞද්ගලික හේතුවක්‌ මත තමාට බොක්‌සිං දින ටෙස්‌ට්‌ තරගය හෙවත් මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්‌ට්‌ තරගයට සහභාගිවීමේ අවධානමක්‌ තිබෙන බව හේරත් මීට පෙර සඳහන් කර තිබුණි. 
 
එම හේතුව මත හේරත් නවසීලන්ත තරග සංචාරය සඳහා ඉකුත් 18 වැනිදා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌ව නොසිටියේය.
 
මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා, දෙවැනි ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කිරීම රංගනට අසීරු තත්ත්වයක්‌ මතුවෙයි යනුවෙන් සඳහන් කරයි.
 
ගතවූ වසරේ ටෙස්‌ට්‌ තරග අංශයේ ලොව වැඩිම කඩුලු ලාභියා වන හේරත්ගේ සහාය නොමැතිව ක්‍රීඩා කිරීම යනු ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක්‌ වනු නොඅනුමානය.
 
හේරත් ඉකුත් වසරේදී ටෙස්‌ට්‌ තරග 10 කදී කඩුලු 60 ක්‌ දවාගෙන තිබෙන අතර එහි කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 27.45 ක්‌ ලෙස සටහන් වේ. 
 
හේරත්ගේ දක්ෂතා අහලකට හෝ පැමිණීමට ලොව කිසිදු පන්දු යවන්නකු සමත්වී නොමැති බව හොඳින්ම පැහැදිළි වන්නේ ඉකුත් වසරේදී කඩුලු දවා ගැනීමේ සටහනේ දෙවැනියට පසුවන ක්‍රීඩකයා වන එංගලන්ත පිලේ වේග පන්දු යවන ඡේම්ස්‌ ඇන්ඩර්සන් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව(තරග 8 කදී කඩුලු 40 ක්‌) ගෙන බැලීමේදීය.
 
හේරත්ගේ අඩුව පිරවීම සඳහා ඩිල්රුවන් පෙරේරා සහ නවක ක්‍රීඩක තරිඳු කෞෂාල්ව සංචාරක කණ්‌ඩායමට ඇතුළත් කර තිබෙන අතර ඔවුන් දෙදෙනාම පිට දග පන්දු යවන්නන් වේ. 
 
හේරත්ගේ සහායකයා ලෙසින් ඉකුත් මාස කීපයේදීම කටයුතු කරන ලද ඩිල්රුවන් කඩුලු 36 ක්‌ බිඳ හෙළා තිබෙන අතර කෞෂාල් දේශීය තරගාවලිවලදී උපරිම දක්ෂතාවන් දක්‌වා තිබේ.
 
ශ්‍රී ලංකා කණ්‌ඩායම පළමු ටෙස්‌ට්‌ තරගයට පෙර නවසීලන්ත ඒ පිල සමග දෙදින පුහුණු තරගයකට සහභාගිවන අතර එය 21 වැනිදා කුවීන්ස්‌ටවුන්හිදී පැවැත්වේ.
 
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගය ක්‍රයිස්‌චර්ච් ඉදිකර ඇති නවතම ක්‍රීඩාංගණයක්‌ වන හැගලි ඕවල් පිටියේදී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්‌ට්‌ තරගය වෙලින්ටන්හිදී පැවැත්වේ.
Rate this item
(0 votes)
Last modified on Saturday, 20 December 2014 10:06