May 19, 2024

වර්තමාන පරපුර නොදන්නා සුපිරි රග්බි තරුව "බයෝනික් ආබ්දීන්"

හිෂාම් ආබ්දීන් 80 සහ 90 දශකයේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා පිටිය වර්ණවත් කළ අපූරුතම ක්‍රීඩකයාය.

1961 උපන් හිෂාම් සහිරා විදුහලේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා සිය අවසන් වසරේදීය කොළඹ ඉසිපතන විදුහලට එක් විය.

පාසල් අධ්‍යාපනයෙන් පසු ඉසිපතනයට යාබද හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එක් වූ හිෂාම් ඉන් පසු ගෙවුණු වසර 15ක කාලය තුළ මෙරට බිහි කළ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා ලෙස සිය සලකුණ තබන ලදී.

1981 වර්ෂයේදී ඇන්ජලෝ වික්‍රමරත්න ගේ නායකත්වයෙන් යුත් අපරාජිත හැව්ලොක් ක්‍රීඩා සමාජයේ වාර්තා පිට වාර්තා තැබූ ක්‍රීඩකයා විය.

ඒ වර්ෂයේ දී ට්‍රයි දිනුම් 20 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ හිෂාම් ඉතා තරුණ වයසේදීම ශ්‍රී ලංකා ජාතික පිලේ නායකත්වයට ද පත්විය.

ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් ජාත්‍යන්තර රග්බි ක්‍රීඩා පිටියක දිනාගත් ශූරතාව වූ එක් පිළකට හත් දෙනා බැගින් වූ ආසියානු තරගාවලියේ බඳුන කුසලානය දිනා ගත්තේ ද හිෂාම්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමය.

දශකයක පමණ කාලයක් හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ හිෂාන් ඉන්පසුව CH & FC කණ්ඩායමට එක් විය.

ඒ වන විට සිය CH & FC කණ්ඩායම චන්ද්‍රශාන් පෙරේරා , සමන් ජයසිංහ මෙන්ම ෆීජි ජාතික ක්‍රීඩකයින් වන අපිසි නගතා , මනාසා කෝරා ආදී ක්‍රීඩකයන්ගෙන් සමන්විත විශිෂ්ටතම කණ්ඩායමක් විය.

 CH & FC කණ්ඩායමෙන් පසුව කුරුණෑගල රග්බි ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩාකළ හිෂාම් ඉන්පසුව රග්බි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන ලදී.

රග්බි ක්‍රීඩාවට පමණක් නොව ක්‍රිකට් , පාපන්දු සහ හොකී යන ක්‍රීඩාවන් ද පාසලේ දී නියෝජනය කළ හිෂාම් ක්‍රීඩා සමාජ මට්ටමෙන්ද මේ ක්‍රීඩා වල නියැලිනි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ද , ජාවා ලේන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩාවද කළ  හිෂාම් ක්‍රීඩාවටම උපන් මිනිසකු විය.

හිෂාම්ගේ විශේෂත්වය වන්නේ ඔහු හැදින්වීම සඳහා අපූරුතම අන්වර්ථ නාමයක් ක්‍රීඩා ලෝලීන් විසින් පටබැඳීමය.

හිෂාම් උපරිම දක්ෂතා දක්වන සමයේ මෙරට රූපවාහිනියේ bionic woman නමින් ඉතා ජනප්‍රිය වැඩසටහනක් විකාශය විය.

ඉන් ආභාෂය ලත් හිෂාම්ගේ දක්ෂතා ඇගයු මෙරට ක්‍රීඩාලෝලීන් හිෂාම්l "බයෝනික් ආබ්දීන්" යන අන්වර්ථ නාමයෙන් දැන් දුන් වූයේ ඒ නම ඔහුට ගැලපෙන නිසාමය.

හිෂාම් 80 හා 90 දශකයේ මෙරට පාසල් සහ ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩකයන්ගේ පරමාදර්ශී චරිතය විය.

අඩි 5 '11ක් පමණ උස ඉතා කඩවසම් ක්‍රීඩකයෙකුට ඔබින සිරුරකට හිමිකම් කී හිෂාම් රග්බි ක්‍රීඩාවේ flanker ස්ථානයේ ක්‍රීඩා කළ යුගයක් වර්ණවත් කළ ක්‍රීඩකයකු පමණක් නොව මහත්මා ගති වලින් යුත්  නිහතමානී මිනිසකුද  විය.

හිෂාම් ආබ්දීන් දකුණු අප්‍රිකානු ක්‍රීඩක රූබෙන් කුගර් හට ටැකල් එකක් දමනා ආකාරය

හිෂාම් ආබ්දීන් ශූරතා කුසලානයක් අතැතිව

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 May 2021 20:15