May 19, 2024

ක්‍රීඩකයන් 'අතුරුදන් වීමේ දඬුවම' සම්මේලනයට

ඉංචියොන් ආසියානු ක්‍රීඩා උළෙලේදී අතුරුදන්වූ ක්‍රීඩකයින් භාරව සිටි හොකී සංගමයට හා වොලිබෝල් සම්මේලනයට එරෙහිව විශේෂ පරීක්ෂණයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසූවේ එම පරීක්ෂණය මේ සතිය අවසන්වීමට පෙර අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි.
 
ඉදිරි කාලයේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට යෑමේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය වටපිටාව සැකසීම කෙරෙහිද ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුවී පවතී. මේ සම්බන්ධව ජාතික ක්‍රීඩා සම්මේලනවල අදහස් විමසීමට ද බලාපොරොත්තු වේ.
 
මේ අතර ජපානයේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 20ක් පමණ අතුරුදහන්වී ඇතැයි ද ඒ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොස් ඇත්තේ ජපාන තානාපති කාර්යාලයට කෙලින්ම වීසා අයැදුම් කිරීමෙන් බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Rate this item
(0 votes)