May 01, 2024

"ක්‍රිකට් විතරක් ගහපල්ලා: ඇගේ පච්ච එපා: පාරේ මිනී මරන්න එපා" - නවක දක්ෂයන් දෙපලට උපදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නවතම තරු දෙපළ වන පැතුම් නිශ්ශංක සහ ප්‍රවීන් ජයවික්‍රම යන තරුණ ක්‍රීඩකයින් දෙදෙනා සම්බන්ධයෙන් මුහුණු පොත පාවිච්චි කරන්නන් අපූරු සටහන් තබා තිබේ.

"අනේ පුතේ උඹලා දෙන්නා ක්‍රිකට් විතරක් ගහපල්ලා"

"රෑට පාටි දාලා බීලා පාරේ යන මිනිස්සු මරන්න එපා"

"ක්‍රිකට් ගහන එක විතරක් කරන්න ඇගේ පච්ච කොටා ගන්න එක කරන්ඩ එපා"

මුහුණු පොතේ එවැනි රසවත් සටහන් කිහිපයකින් ක්‍රීඩා ලෝලීන් විසින් තබා තිබුණි.

එවැනි රසවත් සටහන් වලට පදනම් වී තිබෙන්නේද වත්මන් ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරන ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් රටාය.

මේ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් විශේෂත්වය වන්නේ දෙදෙනාම කළුතර ප්‍රදේශයේ ක්‍රීඩකයන් වීමත් ප්‍රථමයෙන් අධ්‍යාපනය සඳහා කළුතර පාසල් වලට ගොස් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති දක්ෂතාවය මත වෙනත් පාසල් වලට ගිය ක්‍රීඩකයන් දෙදෙනකු වීමය.

පැතුම් නිශ්ශංක කළුතර විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අතර පසුව ඉසිපතන විද්‍යාලයටත් ප්‍රවීන් ජයවික්‍රම කළුතර සිරිකුරුස විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා පසුව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලටත් ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් ඉදිරියට ගෙන යෑම සඳහා එකතු විය.

දෙදෙනාම සිය මංගල ටෙස්ට් තරගවලදී වාර්තා තැබීම ද විශේෂත්වයක් වන අතර පැතුම් නිශ්ශංක සිය මංගල ටෙස්ට් තරඟයේ ශතකයකුත් ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුළු 11කුත් ලබාගෙන ශ්‍රී ලාංකීය මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතටද එක් විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 May 2021 16:38