May 09, 2024

“මට ක්‍රිකට් එපා වුණේ සුපිරි ක්‍රීඩකයාගේ බිරිඳ නිසා” - ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගත්ත ශෙහාන් ජයසූරිය කියයි

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගෙන ඇමෙරිකාවේ පදිංචිය වෙත ගිය හේතුව ශෙහාන් ජයසූරිය විසින් හෙළි කර තිබේ.

ඔහු මේ බව අනාවරණය කර තිබුණේ ජාතික පුවත්පතක ක්‍රීඩා අතිරේකයක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

එහිදී ශෙහාන් ජයසූරිය විසින් පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් තමන්ට ලැබෙන අවස්ථාවන් අවම නිසා ඇමෙරිකාවේ දේශිය ක්‍රිකට් තරඟ සඳහා ක්‍රීඩා කොට ජාතික කණ්ඩායම සඳහා අවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා කටයුතු කරන බවයි.

එමෙන්ම තමා විසින් ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන බවද ශෙහාන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තමන් කුඩා කාලයේ සිටම මුල්පෙළ පිතිකරුවෙකු වුවත් තමන්ට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ලැබුණේ 07 වෙනි පිතිකරණ ස්ථානය බවත් පවසා සිටි ශෙහාන් සඳහන් කර තිබුණේ තමන්ට එම නිසා සුපුරුදු දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වූ බවයි.

එමෙන්ම තරඟයක් හොඳින් දස්කම් දැක් වූ පසුව ඊළඟ තරඟ සඳහා තමන්ව සහභාගී නොකර ගත් බවද ශෙහාන් පවසා තිබුණි.

තමන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට විවිධ කතා පැවසූ බවත් ඒවා කරන ලද්දේ තේරීම් කමිටු සභාපතිවරයා බවත් ශෙහාන් එම සාකච්ඡාවේදී පවසා තිබුණි.

එමෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායම එපා වීමට ප්‍රධාන හේතු අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරි ක්‍රීඩකයෙකු සහ ඔහුගේ බිරිඳ හේතු වූ බවද ශෙහාන් පවසා තිබුණි.

තමන් අනිකුත් ක්‍රීඩකයන් සමඟ සිටින අවස්ථාවන්වලදී එම ස්ථානයට පැමිණ සුපිරි ක්‍රීඩකයාගේ බිරිඳ විසින් තමා සමඟ කතා නොකර ලෙස පවසා ඇති අවස්ථාවන් ගැනද ශෙහාන් විසින් පුවත්පත වෙත පවසා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් සමඟ තමන්ව තරහා කිරීමටද ඔවුන් බොහෝ දේ කළ බවද ශෙහාන් ජයසූරිය පවසා තිබේ.

එමෙන්ම එම සුපිරි ක්‍රීඩකයාද ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර දී තමන්ට සහ තමන්ගේ බිරිඳට ගැටලු ඇති කර බවද ශෙහාන් සඳහන් කර තිබුණි.

ඔවුන් එසේ කිරීමට හේතුව පවා තමන් නොදන්නා බවද ශෙහාන් විසින් සඳහන් කර තිබුණි.

Rate this item
(3 votes)