May 18, 2024

ශෂිකලා ක්‍රිකට් පොත් අලුත් කරයි - මෙන්න වාර්තාව

ශෂිකලා සිරිවර්ධනගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සමත්විය. මේ ජයත් සමග තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි.

මේ තරගයේදී ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර එක්දින කඩුලු 100 සම්පූර්ණ කිරීම විශේෂ සිදුවීමක් විය.

පළමු පන්දුවට පහරදුන් කෙදෙව් ක්‍රීඩිකාවෝ සියල්ලන් දැවී ලබාගත් ලකුණු 124 හඹාගිය ශ්‍රී ලංකා පිල තරගයේ ජය හිමිකර ගත්තේ පන්දු 64ක් ඉතිරිව තිබියදීය.

පිළිතුරු ඉනිම ඇරැඹු ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු දෙක ලකුණු 46 කදී බිඳවැටිනි . ඩිලානි මනෝදරා (9) තෙවැනි කඩුල්ල ලෙසත් යශෝධා මෙන්ඩිස් (27) සිවුවැනි කඩුල්ල ලෙසත් දැවී ගියහ.

අනතුරුව ශෂිකලා සිරිවර්ධන සමග එක්වූ චතුරානි ගුණවර්ධන ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ශෂිකලා නොදැවී ලකුණු 42 ක් රැස්කළ අතර ගුණවර්ධන ලකුණු 9ක් රැස් කළාය. පන්දු 72 කට මුහුණදුන් ශෂිකලා හතරේ පහර 2ක් එල්ල කර තිබිණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවෝ ඕවර 42.3 කදී ලකුණු 124 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත්වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් කොදෙව් ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 29 ක් තුළ බිඳ දැමීමට සමත්වූහ. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 30කට කඩුලු 4ක් දවාගත් අතර මධුරි සමුද්ධිකා කඩුලු 2ක් දවාගත්තාය. මේ තරගයේදී දවාගත් කඩුලු 4 ත් සමග ජාත්‍යන්තර එක්දින තරග බිමේ කඩුලු 100 ක් දවාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන ඉතිහාසයට එක් විය.

ජාත්‍යන්තර එක්දින කඩුලු 100 ක් දවාගත් ලොව 11 වැනි ක්‍රීඩිකාව ලෙසද ඇය වාර්තා පොතට එක්විය.

තරග 85 කට එක්වූ ශෂිකලා ඉනිම 80 කදී මේ කඩුලු 100 දවාගත් අතර ඇයගේ කඩුලු ලබාගැනීමේ සාමාන්‍ය 23.73 කි. 2003  වසරේ කොදෙව් පිලට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග බිමට පිවිසි ශෂිකලා කඩුලු 4 බැගින් දවාගත් අවස්ථා ගණන 6කි.

දෙපිල අතර තෙවැනි එක්දින තරගය 18 දා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

Rate this item
(1 Vote)