May 18, 2024

‘යමානි’ දිරිය දියණිය

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය සහ ක‍්‍රීඩා කටයුතුවල නියැලුන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන වසරේ කලා විෂයයන් හදාරමින් සිටින යමානි දුලාංජලී ශිෂ්‍යාව ආසියානු මලල ක‍්‍රීඩා උළලේ මීටර හාරසියය (400) කඩුලු අතරින් දිවීමේ  තරඟයෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් වී සිටි.

දෝහාකටාර් රාජ්‍යයේ පැවැති මෙම තරඟාවලිය නියෝජනය කිරීම සඳහා දිවයිනේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනෙකු (6) සහභාගිවී සිටියහ.

අඹගමුව උඩුබුලත්ගම ප‍්‍රදේශයේ පදිංචි එම ශිෂ්‍යාව නිවසේ සිට පාසල වෙත පැමිණෙන්නේ පයින් වන අතර එය කිලෝමීටරයක පමණ දුරකින් යුක්ත තරමක් දුෂ්කර මාර්ගයකි.

කිසිදු පහසුකමක් නොමැති අඹගමුව ක‍්‍රීඩාංගණයෙන් ක‍්‍රීඩා පුහුණුවීම් කටයුතු කරන මෙම ශිෂ්‍යාව පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් සම්මාන රැසක් මේ වන විට දිනාගෙන තිබේ. 2014 වසරේ 17 න් පහළ මීටර් හාරසියය (400) කඩුලු පැනීමේ තරඟාවලියෙන් සහ මීටර හාරසියය (400) ධාවන තරඟයෙන් ජාතික පාසැල් ශූරතාවයද යාමනී දුලාංජලී ශිෂ්‍යාව දිනාගෙන තිබේ.

වැඩිමහල් සොහොයුරෙක් පමණක් සිටින මෙම ශිෂ්‍යාවගේ මව අසනීප තත්වයෙන් පසුවන අතර පියා කූලීවැඩ කරමින් පවුල නඩත්තු කරනු ලබයි. පාසල් අධ්‍යාපන කටයුතු සහ ක‍්‍රීඩා පුහුණුවීම් කටයුතුවලට අමතරව රෝගී තත්වයේ සිටින මවගේ සහ නිවසේ වැඩකටයුතුද යමානි විසින් සිදුකරන බවයි ඇයගේ දෙමාපියන් පවසන්නේ.

ක‍්‍රීඩා පුහුණුවීම් කටයුතු නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් සිදු කරගනිමින් යමානි පාසලේ කීර්තිමත් ශිෂ්‍යාවක් බවට පත් වී සිටි. අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තිලක් නවනන්දන මහතා පවසන්නේ ඇය ඉතා දක්ෂ පාසලට පවා කීර්තියක් ගෙන දෙන ශිෂ්‍යාවක් බවය.         

මලල ක‍්‍රීඩාවෙන් මෙරටට කීර්ති නාමයක් ගෙනදුන් සුගත් තිලකරත්නගේ පුහුණුකරු වන හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ ක‍්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එච්.එම්.අනුර බණ්ඩාර මහතා යටතේ මෙම රන් පදක්කම්ලාභී ශිෂ්‍යාව පුහුණුවීම් කටයුතු සිදු කරයි. 

(ලකේෂ් ගුණසේකර)

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 May 2015 13:01