May 18, 2024

පාපැදි හවුල අවුලක් වෙයි

ඊයේ (13දා) පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණය තුළ අර්බුධ රැසක් පැන නැගීම හේතුවෙන් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

වර්ෂ 2015/2017 ශ්‍රී ලංකා පාපැදි සම්මේලන මහ සභා රැස්‌වීම සහ නිලවරණය ඊයේ පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී පැවැති අවස්‌ථාවේදී නිලවරණය මෙහෙයවීමේ කටයුත්තට හිටපු ලේකම් සුජීවන් සේනාරත්න මහතා යෝජනා වී ඇත. ඔහුට මෙම නිලවරණයේදී ජන්ද අයිතියක්‌ නොවීම හේතුවෙන් වඩාත් ස්‌වාධීන මෙහෙයවීමක්‌ සඳහා අවස්‌ථාව ලැබෙනු ඇතැයි ඒ මොහොතේ සභාවේ මතය වී ඇත.

නමුත් ඔහු විසින් ජන්ද විමසීම අවස්ථාවේදී  කර ඇති ඇතැම් තීරණ හේතුවෙන්  නිලවරණයක්‌ මෙහෙයවීමේ සම්මත ක්‍රමවේදයට සහ පාපැදි සම්මේලන විධායක සභාවේ තීරණවලට පටහැනි වූවක්‌ බවට පත්ව ඇත. මේ හේතුවෙන් සභාවේ අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයක්‌ද හටගෙන තිබේ. 

තවද සභාපති ධුරය සඳහා ජන්ද විමසීම අවස්ථාවේදී සභාපති අපේක්‍ෂකයන් වූ වෛද්‍ය අමල් හර්ෂ සහ කපිතාන් චන්දන රත්නායක දෙදෙනා ජන්ද 51බැගින් සමව ලබාගෙන ඇත. මේ අවස්‌ථාවේදී තමන් ඉල්ලා අස්‌වන බව වෛද්‍ය අමල් පවසා ඇතත් එසේ කීරීමට අවශ්‍ය නොවන බවත් ව්‍යවස්‌ථානුකූලව මෙහි තීරණය ගතයුතු බවත් පවසා ඇති හිටපු ලේකම්වරයා, අවසානයේ මෙවන් අවස්‌ථාවක තීරණාත්මක ජන්දය ලබාදීමේ අයිතිය හෙවත් නිශේධ බලය තමන් වෙත පවරාගනිමින් සිය ජන්දයෙන් වෛද්‍ය අමල් හර්ෂ මහතාව සභාපති බවට පත්වන බව ප්‍රකාශ කර තිබේ.

නමුත් පාපැදි ව්‍යවස්‌ථාවට අනුව එලෙස නිශේධ බලය පාවිච්චි කිරීමේ හැකියාව ජන්ද අයිතියක්‌ නොමැති අයෙකුට නොලැබෙන අතර එම අයිතිය ලැබිය යුතුව ඇත්තේ හිටපු සභාපතිවරයා වෙත බවට මතයක් ගොඩනැගී ඇත.

මෙලෙස අයුතු බලයක්‌ භාවිතා කරමින් සභාපතිවරයාව තීන්දු කිරීමට හිටපු ලේකම්වරයා කටයුතු කිරීමත් සමග එහි සිටි පිරිස්‌ පාපැදි සම්මේලනයේ ව්‍යවස්‌ථාව පිරික්‌සීමේදී හිටපු සභාපති හෝ උපසභාපති නොවන තනතුරක්‌ දරණ අයෙකුට මෙලෙස නිලවරණයේ මුල් පුටුව හෙබවීමේ හැකියාවක්‌ද නොමැති බව පෙනී ගොස්‌ ඇත. මේ සමගින් හටගත් දැඩි උණුසුම මධ්‍යයේ චන්දන රත්නායක මහතා වෙනුවෙන් ජන්දය භාවිතා කළ බහුතරයක්‌ එතැනින් පිටව ගොස්‌ තිබේ. ඒ සමග සභාවේ ගණපූර්ණයද නොමැතිව ගොස්‌ ඇතත් හිටපු ලේකම්වරයා විසින් ජන්ද විමසීම පවත්වාගෙන ගොස්‌ තිබේ.

අනතුරුව සභාපති සටනින් ඉවතට විසිවූ චන්දන රත්නායක මහතා මෙය ව්‍යවස්‌ථා විරෝධී පත්කිරීම් සහ ගණපූර්ණයක්‌ නොමැතිව ඉදිරියට ගිය නිලවරණයක්‌ ලෙසින් චෝදනා කරමින්, නිලවරණය අවලංගු කර නැවත නිලවරණයක්‌ පැවැත්වීමට කටයුතු යොදන ලෙස ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත ඊයේ පස්‌වරුවේම විරෝධතාවක්‌ ගොනුකිරීමටද කටයුතු කර තිබුණි.

Rate this item
(0 votes)