May 03, 2024

ඕස්ටේ‍්‍රලියාවට ජය

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර අද (20) ඇඩිලේඩ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත් වූ තරගයේදී ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 216 ක් ලබාගනිමින් කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය  ඕවර 45.5 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 213 ලබාගත්තේය. 
 
තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හැරිස් සොහේල් (41) සහ මිස්බා උල් හක් (34) පාකිස්තාන පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
 
ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ඒරන් ෆින්ච් අතට උඩ පන්දුවක් දෙමින් මිස්බා උල් හක් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ. පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 23 ක් ලබාගැනීමට සහිඩි අෆ්රිඩි සමත් විය.
 
මුලූ ලකුණු සංඛ්‍යාව 24 ක් වන විට පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට  ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොස් හෙසල්වුඞ් ලකුණු 35 කට කඩුලූ 4 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානුවෝ ඕවර 33.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 216 ක් ලබාගනිමින් කඩුලු 6 කින් පාකිස්තානය පරාජය කළහ.
 
ඕස්ට්‍රේලියානු පිලේ ස්ටීවන් ස්මිත් ලකුණු 65 ක් රැස් කිරීමට සමත්විය.
 
දක්ෂ පිතිහරඹයක නිරත වූ ශේන් වොට්සන් (නොදැවී) ලකුණු 64 ක්ද, ග්ලේන් මැක්ස්වෙල් (නොදැවී) ලකුණු 44 ක්ද ලබාගනිමින් ඕස්ට්‍රේලියානු පිලේ ජයග්‍රහණය තහවුරු කළහ.
 
Rate this item
(0 votes)