May 04, 2024

දකුණු අපි‍්‍රකාවට ලකුණු 62 ක ජයක්

February 16, 2015

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ පිල අතර ඊයේ (15 වැනිදා) හැමිල්ටන්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 62 ක ජයක් අත්කර ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය.

ලකුණු 340 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට ඕවර 48.2 ක් අවසානයේ  සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 277 ක් පමණි.

සිම්බාබ්වේ පිලේ වැඩිම ලකුණු ලාභියා වූ හැමිල්ටන් මසකඩ්සා පන්දු 74ක දී හයේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් සමගින් ලකුණු 80 ක් රැස් කළේ ය.

ඔහු සහ චමූ චිබාබා (64) අතර සිම්බාබ්වේ පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාව ලකුණු 105 කි. පන්දු 82 ක දී වාර්තා වූ චිබාබාගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු පිල ඕවර 50 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තේ ය.

එහි දී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිර වූ ඩේවිඩ් මිලර්, හයේ පහර 09 ක් සහ හතරේ පහර 07 ක් සමගින් පන්දු 92 කදි නොදැවී ලකුණු 138 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.  

තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මිලර්ට අගනා සහයක් දුන් ජේපී ඩුමිනි පන්දු 100 ක දී නොදැවී ලකුණු 115 ක් රැස්කළේ හයේ පහර 03 ක් සහ හතරේ පහර 09 ක් සමගිනි.

දකුණු අපි‍්‍රකානු පිලේ 04 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 178 කදී ලකුණු 256 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට ද මිලර් සහ ඩුමිනි සමත් වූහ.

ක්වින්ටන් ඩි කොක් දවාගනිමින් දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 10 කට සීමා කිරීමට ටෙන්ඩායි චටාරා සමත් විය.

ඉන් පසුව කි‍්‍රයාත්මක වූ ටිනාෂේ පන්යන්ගාරා, මුළු ලකුණු සංඛ්‍යාව 21 ක් වනවිට අනෙක් අනෙක් ආරම්භක පිතිකරුවා ද (හෂීම් අම්ලා) අපසු කී‍්‍රඩාගාරයට හරවා යවමින් දකුණු අපි‍්‍රකානු පිලට යම් පීඩනයක් එල්ල කළේ ය.

දකුණු අපි‍්‍රකානු පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ෆෆ් ඩුප්ලෙසී (24) සහ ඒබී ඩිවිලියස් (25) සමත් වුව ද එල්ටන් චිගම්බූරාගේ පන්දුවක් හමුවේ කඩුළු රකින කී‍්‍රඩක බ්‍රෙන්ඩන් ටේලර් අතට උඩ පන්දුවක් දෙමින් ඩුප්ලෙසී දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමා විය.

නායක ඒබී ඩිවිලියස්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 25 ක් පමණි. තෆඩ්ස්වා කමුන්ගෝසිගේ පන්දුවක් හමුවේ කේ‍්‍රග් එර්වින් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවීගියේ ය.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු පිලට ආරාධනා කර සිටියේය.

දකුණු අපි‍්‍රකාව - ඕවර 50 කදී කඩුළු 04 ක් දැවී 339 (හෂීම් අම්ලා 11, ෆෆ් ඩුප්ලෙසී 24, ඒබී ඩිවිලියස් 25, ඩේවිඩ් මිලර් නොදැවී 138, ජේපී ඩුමිනි නොදැවී 115) සිම්බාබ්වේ - ඕවර 48.2 කදී සියළු දෙනා දැවී 277 (චමූ චිබාබා 64, හැමිල්ටන් මසකඩ්සා 80, බ්‍රෙන්ඩන් ටේලර් 40, සොලමන් මයර් 27, ඉම්රාන් තාහීර් 36/3, වර්නන් පිලැන්දර් 30/2, මෝනි මෝකල් 49/2)

 

Rate this item
(0 votes)