May 05, 2024

ඡන්දයේ ප්‍රචාරණ වැඩවලට දේශපාලඥයන් ෆේස්බුක් වෙත කෝටි 04ක් ගෙවලා Featured

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ වෙන කරදාකටවත් වඩා මෙවර මහා මැතිවරණය වෙනස්ම මුහුණුවරක් ගෙන ඇත. එයට හේතුව වී ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඇති වී තිබෙන සෞඛ්‍යයම ගැටලුය.

ඒ නිසාම බොහෝ දේශපාලනඥයින්ට තමන්ගේ මැතිවරණ කටයුතු සුපුරුදු පරිදි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්ත හා සමානවම දේශපාලනඥයින්ට තවත් ගැටලුවක් වී ඇත්තේ පෝස්ටර් ඡන්ද කැම්පේන් ව්‍යාපාරය කර ගැනීමට නොහැකිව තිබීමයි. එයටද හේතුව වී තිබුණේ රටේ තරුණ තරුණියන් විසින් රට පුරාම ප්‍රසිද්ධ ස්ථානයන් හී ඇති තාප්ප, ලයිට් කනු වැනි බොහෝ ස්ථානයන් හී සිතුවම් ඇඳ තිබීමයි.

මේ හේතුවෙන්ම දේශපාලනඥයින් බොහෝමයක් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයන් ෆේස්බුක් වැනි සමාජජාල ඔස්සේ සිදු කිරීමට කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකාව තුළ දුරකථන භාවිත කරන පිරිසගෙන් 75.54%ක පිරිසක් ෆේස්බුක් සමාජජාලය තුළ සැරිසරන බව Stat Counter Global Stats වෙබ් අඩවියේ 2019 වසරේ ජුනි මාසයේ සිට 2020 වසරේ ජුනි මාසය දක්වා වාර්තා අධ්‍යයනය කිරීම තුළින් දැක ගත හැකිය. ඒ නිසාම දේශපාලනඥයින්ට තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවියක් ඔස්සේ කිරීම තරමක වාසි දායක කටයුත්තක් වී තිබේ.

තමන්ගේ නමින් ඇති ෆේස්බුක් පුද්ගලික ගිනුමක් හරහා ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටුවකට දැන්වීමක් දමා යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම මඟින් ෆේස්බුක් ආයතනය එම දැන්වීම විශාල පිරිසක් වෙතට ප්‍රචාරය කිරීම සිදු කරයි. ගෙවන මුදල් ප්‍රමාණය වැඩි වීම තුළින් හා දැන්වීම පළ කරන දින ගණන අනුව ඉතාමත් විශාල පිරිසක් හට මෙම දැන්වීම ප්‍රචාරය කිරීමටද හැකියාවක් ලැබේ.

ඒ අනුව මෙම මැතිවරණ සමයේ දී එලෙස මෙරට දේශපාලනඥයින් විසින් ඡන්දය ප්‍රකාශයට පත් කොට ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ මේ වන විට ඡන්ද දැන්වීම් 13,728ක් ඇමෙරිකානු ඩොලර් 194,843 ක මුදලක් වැය කරමින් ෆේස්බුක් ආයතනයේ පළ කරවා ඇත. මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,61,85,084.12 එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලකි.

මෙම සියලු දත්තයන් ෆේස්බුක් ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එයට හේතුව වී ඇත්තේ පසුගිය කාලය දී ශ්‍රී ලංකා මෙන්ම තවත් බොහෝ රටවල් ප්‍රමාණයක දේශපාලනමය, ආගමික හා සමාජය තුළ වෛරීය ප්‍රකාශයන් හා දේශපාලනමය කාරණයන් බොහෝමයක් මුදල් ගෙවා ප්‍රචාරය කිරීම මඟින් සිදු වු සමාජමය ගැටලුය. ඒ නිසාම ෆේස්බුක් ආයතනයට ඇමෙරිකානු සෙනට් සභාව ඉදිරියේ වග උත්තර බැඳීමටද සිදුවිය.

එම නිසාම ෆේස්බුක් ආයතනය විසින් දේශපාලනමය හෝ එවැනි කාරණයන් සඳහා වූ ෆේස්බුක් පිටුවල දැන්වීම පළ කිරීමේ දී ඒවායේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු බොහෝ විස්තර ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු යොදා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනය විසින් ලෝකයේ ඕනෑම රටක දේශපාලනය හෝ එවැනි අදහස් පළ කරන පිටුවල දත්තයන් සීමිත ප්‍රමාණයක් මෙලෙස ප්‍රසිද්ධ කර තිබේ.
මේ ආකාරයට ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක් සතියක් තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් 2,021,066 ක මුදලක් ගෙවමින් ෆේස්බුක් හරහා ප්‍රචාරණයක් ලබා ගෙන තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 38ක පමණ මුදලකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා හා ගත් කළ මෙරට දේශපාලනඥයින් අති විශාල මුදලක් වැය නොකර තිබුණත් ඔවුන් ෆේස්බුක් හරහා තමන්ගේ ඡන්ද ව්‍යාපාරය වැඩි මුදලක් වියදම් කරමින් කරගෙන යනු ලබයි. ඉදිරියේ දී ඉහත කී මුදල් ප්‍රමාණයන් වෙනස් වනු ඇත. 

Last modified on Wednesday, 22 July 2020 10:15