April 19, 2024

සිමෙන්ති හිඟයට ඇමතිගෙන් විසඳුමක්! හිඟයට හේතු‍වත් හෙළිවෙයි

මෙරට පවතින සිමෙන්ති හිඟය පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙරට සිමෙන්ති ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (27) දිනයේ පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි සති 03 තුළ සිමෙන්ති ආනයනය සඳහා කටයුතු කරන බවයි.

මෙරට පවතින සිමෙන්ති හිඟයට හේතුව වී ඇත්තේ දැනට පවතින ඩොලර් හිඟය හේතුවෙන් බැංකුවලින් ණයවර පත් නිකුත් නොකිරීමත් එම නිසා සිමෙන්ති ආනයනය කිරීමට හැකියාවක් නොමැති වීම බවත් මෙහිදී අනාවරණය වුණා.

සිමෙන්ති ආනයනය කරන සමාගම්වලට මසකට සිමෙන්ති මෙට්‍රික් ටොන් 10,000ක පමණ අතිරේක තොග ආනයනය කිරීමට හැකිවුවහොත් දැනට වෙ‍ළෙඳපොළ තුළ පවතින සිමෙන්ති හිඟය මඟ හැරි යනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙරට සිමෙන්ති ඉල්ලුමෙන් 60%ක් පමණ ප්‍රමාණයක් මෙරට තුළම නිෂ්පාදනය කරනු ලබන අතර ඉතිරි 40%ක ප්‍රමාණය ආනයනය කරනු ලබනවා.

දේශීය සිමෙන්ති නිෂ්පාදනය මාසයක් සඳහා නිෂ්පාදනය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක් (150,000ක්) පමණ වනවා.

බොහෝ පිරිසක් වෙළෙඳපොළ තුළ දැනට පවතින සිමෙන්ති ‍තොග රැස්කර ගැනීමට උත්සාහ කිරීම වැනි කාරණයන් නිසාද දේශීය වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වී තිබෙන බවයි සඳහන් වන්නේ.

දැනට වෙළෙඳපොළ තුළ ස‍ිමෙන්ති කිලෝ 50ක කොට්ටයක් රුපියල් 1400ක් දක්වා මිලකට වෙළෙඳපොළ තුළ අලෙවි වන බවට වාර්තා වෙනවා.

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා මේ වන විට පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ආරම්භ කර ඇති අතර එසේ වැඩි මිලට සිමෙන්ති අලෙවි කොට හසු වුණොත් ඔවුනට එරෙහිව දැඩි නීතියම ක්‍රියාමාර්ග ගන්නා බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 15:35