January 25, 2021

දේශපාලනඥයා පසුව 'දියසෙන් කුමාරයා' ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියි.

ටී.වී දෙරණ 360° වැඩසටහනට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් 'පා.ච. රණවක මන්ත්‍රීවරයා  ගොඩනඟන නව බලවේගයට සම්බන්ධ වෙනවාද?' යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

මෙහිදී දැඩිව අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා පෙන්වා දුන්නේ පා.ච. රණවක යනු ප්‍රතිපත්තියක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕනෑම දේශපාලන අසූචි වලක ලගින්නෙකු ලෙස මෙරට ජාතිකවාදී, ප්‍රගතිශීලී ජනතාව හඳුනා ගෙන ඇති බව ය.

පා.ච. රණවක මන්ත්‍රීවරයා 'විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා' යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.

"මේ විදියේ තර්ජන කරන දේශපාලන අම්බරුවන්ට නටන්න ඉඩදී නිහඬව ඉන්න නොවෙයි මේ රටේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය ගොඩනැඟුණේ" යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (06) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

"69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත් කරනු ලැබුවේ, ඒ වගේම මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නේ, ‘මද්‍රසා පාසල්, අන්තවාදී ඇඳුම් භාවිතය වැනි ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන සියලු මාර්ග වසා දමා මෙරටින් එම අන්තවාදය මුලිනුපුටා දමයි’ කියන විශ්වාසය ඇතිවයි. අසාත් සාලි මේ ආකාරයට ඉන්දීය මාධ්‍ය හරහාත් තර්ජනය කිරීමක් සිදු කළා. එදා එළියට ආවේ දිවුරුම් පෙත්සමක් ද සමගයි. අද යළිත් මේ ආකාරයට ‘වන්දි ගෙවන්න සිදු වේවි’ කියමින් තර්ජනය කරනවා. මේ විදියේ තර්ජන කරන දේශපාලන අම්බරුවන්ට නටන්න ඉඩදී නිහඬව ඉන්න නොවෙයි මේ රටේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය ගොඩනැඟුණේ.

පොලිස්පතිතුමන් ඇතුළු බලධාරීන්ගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා, ‘ඉහත ආකාරයට අන්තවාදයට උඩගෙඩි දෙන අසාත් සාලි වැනි සියලු දේශපාලන නිගණ්ඨයන් වහාම අත්අඩංගුවට ගන්න’ කියා. ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් මේ අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස් අත්අඩංගුවට ගත යුතුයි. රටේ නීතියට අභියෝග කරන්න සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට තර්ජනය කිරීමට කිසිදු පුරවැසියෙකුට අයිතියක් නැහැ. මේ පිරිස්වලට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී නිහඬව සිටිනවා නම් එය ලැබුණු ජනවරමට පටහැනියි. ඒ නිසා අපි අපේම ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලනවා, මිනිය බදාගෙන මේ රට මිනී කනත්තක් කිරීමට දගලන අන්තවාදීන්ට තවදුරටත් කටමැත දෙඩවීමට ඉඩ නොදී මේ රටේ නීතිය බලාත්මක කරන්න කියා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිදුවීම කුමන්ත‍්‍රණයක් යැයි පවසමින් ඇමති විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් ප්‍රකාශ නිකුත් කර තිබීම හේතුවෙන් එහි සත්‍යතාවය සොයාගැනීමට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස සිදුවීමෙන් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ඇමතිවරුන් දෙදෙනාගෙන් එම ප්‍රකාශ ගැන විමර්ශනය කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඔවුන් ගෙන් ලබාගන්නා ප්‍රකාශයන් එළැඹෙන 8 වෙනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් නියෝග කර ඇත.

පෙර පරිදිම බන්ධනාගාර තුළ ජාවාරම් සිදුවන බව විමල් විරවංශ මහතා මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් හෙළිවන බව අසේල සම්පත් මහතා පැවසුවේය. 

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රැඳවියන්ගේ නිවැසියන්ට හෝ ඔවුන් බැලීම සඳහා අවස්ථාවක් නොමැති කාලවකවානුවක ඔවුන් සිවිල් සමාජයෙන් නොගැටී බන්ධනාගාර ආරක්ෂාව යටතේ සිටින විට එලෙස රිවස් පෙත්තක් බන්ධනාගාරය තුළට ගියේ කෙසේද යන ප්‍රශ්නය මතුවන බව ඔහු සඳහන් කළේය. 

මෙවැනි තත්ත්වයක එසේ නම් එවැනි ජාවාරමකට ඇමති අලි සබ්‍රි, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, බන්ධනාගාර කොමසාරිස් ඇතුළු මෙකී සියලුම දෙනා ඊට වගකිව යුතු වන බව ඔහු පෙන්වා දෙයි. 

''අපි මොකෝ ගිහින් දෙන්නද රිවස් පෙත්තක්. බැහැනේ. ගෙනියන බත් එකේ ඇටේ ගානේ කූරු ගාලා බලනවා. දැන් අනිත් එක ඒවා ගෙනියන්නත් බැහැ. කිසිදු අමුත්තෙකුට රැඳවියෝ හමුවෙන්න බැහැ. අමුත්තන්ට රැඳවියෝ බලන්න බැරි නම් රැඳවියෝ සිවිල් සමාජය එක්ක මුහුවෙන්නේ නැත්නම් ඉන්නේ බන්ධානගාර රැකවරණයේ නම් කොහොමද රිවස් පෙත්ත බන්ධනාගාරය තුළට ගියේ? කුණ්ඩලනී ශක්තියෙන්ද ගියේ? අපි අහන්නේ ඒක'' යනුවෙන් ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.  

මහර බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුව එහි තිබෙන ඖෂධ පාවිච්චි කිරීම බවට ගෙන යන මතය මානසික රෝග වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි.

මානසික රෝගීන්ට ලබාදීමට තිබෙන එම ඖෂධවලින් ප්‍රචණ්ඩත්වයක් වර්ධනය නොවන බවත් ඉන් කලහාකාරී ලෙස හැසිරීම අවම කරන බවත් එම සංගමය පෙන්වා දෙයි.

මහර බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වූ රැඳවියන් මත් පෙත්තක් පාවිච්චි කළ බවට ‍ප්‍රථමයෙන්ම හෙළිදරව් කළේ විමල් වීරවංශ අමාත්‍යවරයා ය.

ඒ බව අද (3) ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයට එක්වෙමින් වීරවංශ මන්ත්‍රීවරයා යළිත් වතාවක් තහවුරු කරමින් සඳහන් කලේ මහර ප්‍රචණ්ඩ සිද්ධියට මැදිවූ රැඳවියන් එම කටයුතු සිදු කළේ සාමාන්‍යයෙන් මානසිකත්වයකින් නොවන බවත් එම ගැටුමින් තුවාල ලබා රෝහල් ගතව සිටින තුවාලකරුවන්ගෙන් විමසීමෙන් ඒ බව තහවුරු කරගැනීමට හැකි බවය.

තමන් එදා කළේ කුමක්දැයි දැන් මතක නැති බව රෝහල්ගතව සිටින මෙම රැඳවියන් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ සිරකරුවන් PCR පරීක්ෂණ ඉල්ලා කැරලි ගැසුවා කියන ඒක මිථ්‍යාවක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

මහර බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදුණු රැඳවියන් එය කරණ ලද්දේ සාමාන්‍ය මානසිකත්වයකින් නොවන බව සදහන් කරන අමාත්‍යවරයා ගැටුම නිසා රෝහල්ගතව සිටින බන්ධනාගාර සිරකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා දැන ගැනීමට හැකි බවද පෙන්වා දෙයි.

මහර බන්ධනාගාරයේ ගැටුම් නිසා මේ වන විට රෝහල් ගතව සිටින රැඳවියන් ප්‍රකාශ කරන්නේ තමා එදා කළේ කුමක්දැයි මේ වන විට මතකයක් නොමැති බව බව ද වීරවංශ මහතා අවධාරණය කරයි.

බන්ධනාගාරවල මෙවැනි කැරලි ඇතිවීම සාමාන්‍ය දෙයක් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා මහර බන්ධනාගාරයේ රැඳවියන් තුල තිබූ ආතතිය යම් පිරිසක් විසින් තමන්ගේ ප්‍රයෝජනයට පාවිච්චි කළ බව ද අනාවරණය කරයි.

බන්ධනාගාරවල ඇතිවන මෙවැනි කෑලි මර්දනය කිරීම ලෝකයේ සෑම රටකම සිදුවන බවද සඳහන් කරන අමාත්‍යවරයා රැඳවියන්ගේ මෙම ප්‍රචණ්ඩත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන්ට නිකං බලා සිටින්නට කියනවා දැයි ප්‍රශ්න කරයි.

හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු සමයං ගේ ගෝලයෙකු වන චතුරංග විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ “රිවර්ස්” නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිනීමට යොදා ඇති බවට කලකට පෙර බුද්ධි විසින් අනාවරණය කර ගෙන තිබු බවත් බන්ධනාගාරය තුල මෙවැනි කලහකාරී සිදුවීම් ඇතිවීමට එය හේතුවක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියහ.

මෙම මත් පෙත්ත වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිපදෙනෙකුට මුලින්ම චතුරංග යන අය විසින් ලබාදී ඇති බවත් එම පෙත්ත භාවිතා කිරීමෙන් පසු ඔවුන්ට “ලේ දැකීමට” අවශ්‍ය වන බවත් සිද්ධිය ගැන තොරතුරු අනාවරණය වීමෙන් පසු චතුරංග ඇතුළු ඊට සම්බන්ධ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකොට යැවීමට බලධාරීන් පියවර ගනු ලැබූ බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

තමන් මෙම සිදුවීම ගැන සම්පුර්ණ දැනුවත් භාවයෙන් සිටින බැවින් පාර්ලිමේන්තුවේදී මෙම අදහස් ප්‍රකාශ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ඊයේ මහර බන්ධනාගාරය තුල ඇතිවූ සිද්ධිය මගින් ජනාධිපතිවරයාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක් කිරීමට කිසියම් පිරිසක් දරන උත්සහයක එක් කොටසක් බව ද කියා සිටියහ.

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

මහජන ධනය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමේ ආදර්ශය ජනාධිපතිවරයාගෙන් තමන්ටත් ලැබී තිබෙන බව විමල් විරවංශ අමාත්‍යවරයා අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

තමන්ට ලැබෙන බලය ධනය ඒකරාශී කිරීමේ මාවතක් බවට පත්කර නොගැනීමේ ආදර්ශය ද ජනාධිපතිවරයාගෙන් තමන්ට ලැබී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනධිපතිවරයා රාජකාරීමය කාරණාවලට හැර වෙනත් කිසිම කටයුත්තකට බලය හෝ මහජන ධනය පාවිච්චි නොකරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

ඒ ආදර්ශය රටකට ලැබිය යුත්තේ රාජ්‍ය නායකත්වයෙන් වන අතර එය වත්මන් ජනපතිවරයා නිසි ආකාරයෙන් ඉටු කරන බවද විරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අවුරුද්දක් ඇතුලත මේ ආණ්ඩුව කලේ මොනවා දැයි විපක්ෂය ප්‍රශ්න කරන බව සඳහන් කරන විමල් විරවංශ අමාත්‍යවරයා අවුරුදු 4 හමාරක් ඇතුලත විපක්ෂය ආණ්ඩුවේ සිටිද්දී කලේ මොනවා දැයි තමා ප්‍රශ්න කරන බව අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

අසමත්භාවයේ පියවරුන් තමයි මේ සමත් අසමත්භාවය ගැන කතා කරන්නේ යැයිද ඇමතිවරයා එහිදී පවසන ලදී.

සහරාන් මහා දවල් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිද්දී බලා සිටි, ඒ ප්‍රහාරයෙන් පසු ආර්ථිකය කඩා වැටෙද්දී බල බලා කොලොප්පම් කරමින් සිටි අසමත්භාවයේ පියවරුන් මෙසේ ප්‍රශ්න කරන බවද විරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රශ්න කරන ලදී.

මහ දවල් මහ බැංකුව හොරකම් කරද්දී ඊට ෆුට් නෝට් ගසා එහෙම දෙයක් වෙලා නැහැයි කියපු ඒ ගැන පොත් ලියපු අසමත්භාවයේ පියවරුන් ආණ්ඩුවේ සමත් අසමත්භාවය සොයන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙහෙම ප්‍රශ්න කරන අයගේ අසමත් භාවය නිසා අවුරුදු හතර හමාරක් යන විට ජනතාව ඔවුන්ව කණෙන් අල්ලා එලියට දැමු බවද විරවංශ මහතා අවධාරණය කරන ලදී. 

Page 1 of 4