February 27, 2021

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොල්ලූපිටිය පස් වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් නොවීම විශාල අඩුවකැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වන දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ. සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කරා දැයි සිතිය නොහැකියි. ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකන්ම නිකන් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ. උඩරට නීතිය අහෝසි කරන ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප්‍රායෝගිකද? දහම් පාසල් පාලනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමටයි."

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (23) රාත්‍රියේ දැනුම් දී ඇත.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හෝ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරුන් කලින් දැනුවත්ව නොසිටි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ දැනුම් දී ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කලින් දැනුවත්ව නොසිටි බව කොමිෂන් සභා වාර්තාවෙන්ද ඔප්පු වී ඇතැයි රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා (23) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමු වී තිබේ.

ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.

එහිදී හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කර නොතිබුණු බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසටද එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව එම නිර්දේශ කියා සිටී.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැති ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් නොකිරීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු කිරීම මගින් චේතනාන්විතවම සහරාන්ගේ අයි. එස්. තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

මේ අතර,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය මත එවක පැවැති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බවද නිර්දේශ කර තිබේ.

එය පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට පහසුකම් සපයා ඇති බවද වාර්තාවේ දැක්වේ. හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේදී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙස නිර්දේශ කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ කළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වේ. එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකා බැලීම සඳහා උන්වහන්සේ 2013 හා 2014 වසරවල මහරගම හා අලුත්ගම යන ප්‍රදේශවල කළ කතා නීතිපතිවරයා සලකා බැලිය යුතු බවද නිර්දේශයකි.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් කරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු අතර සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බව කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂි හමුවක් බෙන්තොටදී සිදුව ඇති බව වාර්තා වේ.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ජාවක් ලබා දෙන ලෙසට කිහිප වතාවක්ම අගමැතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව පසුගිය 13 වනදා වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිවරයාට කතා කොට ඒ පිළිබද විමසා ඇත. 

එහිදී අගමැතිවරයා දැනුම් දී ඇත්තේ තමන් එදින බෙන්තොට අගමැති නිල නිවසේ රැදී සිටින බවත්, පැමිණීමට හැකි නම් දිවා භෝජනයද තමන් සමග ගත හැකි බවත්ය.

ඒ අනුව වික්‍රමසිංහ මහතාද එදින බෙන්තොට බලා ගොස් අගමැතිවරයා සමග නිදහසේ පවතින දේශපාලන වටපිටාව පිළිබදව සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

අගමැතිවරයාට බොහෝ හිතවත් ව්‍යාපාරිකයකු විසින් මෙම දිවා භෝජන සංග්‍රහය ලබා දී ඇති බවත් දිවාභෝජනය සදහා සූදානම් කොට තිබී ඇත්තේ බුරියානි බවත් ආරංචි මාර්ග පැවසීය. 

ඒ අනුව අගමැතිවරයා හා රනිල් වික්‍රමසිිංහ යන මහත්වරුන් එක්ව බුරියානි වේලක රස විද ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවන්හි අවසන් තීන්දුව තවමත් ලැබී නොමැති බවත් ඉදිරියේදී ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

මේ අවස්ථාවේ රට යම් බැරෑරුම් තත්ත්වයකට පත්ව තිබෙන බැවින් පක්ෂය හෝ පුද්ගලයන් ගැන පමණක් සිතා කටයුතු කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ (17) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එජාපයේම පිරිසක් කඩාගෙන ගොස් සමගි ජනබලවේගය ගොඩනැගීම නිසා විපක්ෂනායක සමග සාකච්ඡා කිරීමට එකඟ නොවන පිරිසක් පක්ෂයේ සිටින බවද ඉන්දියාවේ ප්‍රාන්තයක දේශපාලනඥයෙකු බී.ජේ.පී. පක්ෂය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය ඉන්දියානු මහ මහ කොමාසාරිස්වරයා සමග සාකච්ඡා කර පැහැදිලි කිරීමක් කරගැනීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට විශාල සම්බන්ධතා පැවැති බවත් ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ආණ්ඩුව ඉටු නොකිරීම නිසා අද දෙරට අතර යම් විරසකයක් ගොඩනැගී තිබෙන බවත් කී හෙතෙම මෙම තත්ත්වය ඉදිරියේදී ලංකාවට අයහපත් ලෙස බලපෑ හැකි බවද පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ඇමැතිවරියට කොවිඩ් ආසාදනය වී දින 19 කට පසු වැඩබලන සෞඛ්‍ය ඇමැතිවරයෙකු පත් කළ බවත් සෞඛ්‍ය ඇමැතිවරයෙකු නොමැතිව ගෙවුණු කාලය තුළ කොවිඩ් මරණ 94 ක් පමණ සිදුව තිබෙන බවත් මෙම මරණවලට වගකියන්නේ කවුද යන ප්‍රශ්නය පැන නගින බවද හෙතෙම පැවසීය.

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ආසන සංවිධායකවරුන් අලුතින් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවැසුවේ දිවයින පුරා සියලුම ආසන ආවරණය වන පරිදි ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බවයි.

දැනට ආසන සංවිධායකවරුන් ලෙස සක්‍රිය දායකත්වය දක්වන පිරිස තවදුරටත් තබා ගනිමින් නව ආසන සංවිධායකවරු පත් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බව ඔහු පැවසීය.

දිවයින පුරා සෑම ගමක්ම ආවරණය වන පරිදි ප්‍රධාන පක්ෂ ක්‍රියාකාරින් තිදෙනකු බැගින් පත්කිරීමටද නායකත්වය උපදෙස් ලබා දී තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ හමුවීමක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
 
ඒ අනුව එම කොමිෂන් සභා වාර්තාවට එරෙහිව කටයුතු කිරීමටත් ඒ සඳහා අනෙකුත් විපක්‍ෂ දේශපාලන පක්‍ෂ බලවේග ද ඒකරාශී කර ගැනීමටත් එකඟතාවයක් ඇති කරගෙන ඇතැයි වාර්තා වෙයි.

නායකයන් දෙපළ අතර පෙරේදා (10) පෞද්ගලික ස්ථානයකදී මෙම හමුව සිදුව ඇති අතර එම හමුව ඉතා සුහද ලෙස පැවතී බව විපක්‍ෂයේ ආරංචි මාර්ග පැවසීය.

මහ මැතිවරණ පරාජයෙන් පසුව නායකයන් දෙපළ මෙයට පෙර අවස්ථා දෙක තුනකදී ද පෞද්ගලිකව මුණගැසී තිබෙන අතර මෑතකදී නිකුත් කර තිබූ මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සහ යම් යම් දේශපාලන කාරණා පිළිබඳව ද දෙදෙනාගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.
 

සමගි ජනබලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර වූ හමුවකදී පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමක් පිළිබඳ සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කිරීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එජාප නායකයා හමුවී සාකච්ඡා කර තිබේ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුණේ පෞද්ගලික මට්ටමින් වන අතර එය පක්ෂය වෙනුවෙන් කළ හමුවීමක් නොවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් පක්ෂ දෙක එකතු විය යුතු යැයි හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සමග සාකච්ඡා කර තමාට දැනුම් දෙන ලෙසත් ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි බවත්ය.

පෙබරවාරි මස මුල සිට පාක්ෂිකයන්ට හා සාමාන්‍ය ජනතාවට එක්සත් ජාතික පක්ෂ නායකයින් මුණගැසීමට දින දෙකක්  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන්කොට තිබේ.

ඒ අඟහරුවාදා සහ බදාදා යන දින දෙකය.

එම දින දෙක තුළ පාක්ෂිකයන් මෙන්ම ජනතාව මුණගැසීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර යන මහත්වරුන් සිරිකොත රැඳී සිටීමට තීරණය කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරට ගෙන යෑම සඳහා පාක්ෂිකයන් හා නායකයන් අතර තිබෙන දුරස්ථභාවය නැති කිරීම සඳහා පක්ෂ නායකයා විසින් මෙම  වැඩ පිළිවෙළ අරඹා තිබේ. 

යහපාලන ආණ්ඩු සමයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේදී සම්ප්‍රදායිකව ඔහුට ලබාදිය යුතු  අග්‍රාමාත්‍ය අසුන ලබා දීමට එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුළ කැමැත්තක් නොතිබු බව දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්ට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි විට අග්‍රාමාත්‍ය අසුන  ජනපතිවරයාටත්, සභානායක අසුන අග්‍රාමාත්‍යවරයාටත් ලබා දිය යුතුය.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිය අසුන ජනපතිට ලබාදීමට තිබෙන අකමැත්ත මත ජනපතිවරයාට කතානායක ළඟ පුටුවක් දමා අසුන් ගැනීමට ඉඩ සලස්වන ලෙස යෝජනා කොට තිබේ.

ඔහු මෙම යෝජනාව කර තිබෙන්නේ එවකට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම ධූරයක් දැරූ ජේෂ්ඨ අමාත්‍යවරයෙකුටය.

එහෙත් පාලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව අකමැත්තෙන් වූවද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය ආසනය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව තිබේ.

Page 1 of 8